1. 3 මණ්ඩපදායිකා අපදානය
26. කෝණාගමන බුදුරදුන්හට මා විසින් මණ්ඩපයක් කරවන ලදි. ලෝකබන්‍ධු වූ භාග්‍යවතුන්හට නිරන්තරයෙන් සිවුරු ද දුන්මු.
27. යම් යම් දනව්වකට යන්නෙම් ද, නියම්ගම්-රජදහනකට යන්නෙම් ද එ හැමතන්හි පුදනලද වෙමි. මේ වූකලි පින්කම්හි ඵල යි.
28. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.
29. ඒකාන්තයෙන් මා හට ස්‍වාගතයෙක් වී යැ ... බුදුසසුන් කරන ලද.
30. සිවු පිළිසිඹියාවෝ ද ... බුදුසසුන් කරන ලදි.
මෙසේ මණ්ඩපදායිකා භික්‍ෂුණී තොමෝ මේ ගාථා ප්‍රකාශ කළා යැ.
තෙවැනි මණ්ඩපදායිකා ස්ථවිරීඅපදාන යි.
1. 4 සඞ්කමනත්‍ථ අපදානය
31. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදී (අකම්ප්‍ය) ගුණයුක්ත, ප්‍රාණීන් (සසරකතරින්) එතෙරැ කරවන විදර්ශී භාග්‍යවතුන් වහන්සේ වීථියට පිළිපන්නවුන් හමියෙහි ...
32. මම් ගෙන් නික්මැ යටිහුරු වැ වැඳ වැටුණමු. ලෝකනාථයන් වහන්සේ අනුකම්පා කරන සේක් මාගේ ශීර්‍ෂාන්ත (කෙහෙ) ඇක්මැවූ සේක.
33. (මා) හිස ඇක්මැ ලෝකස්වාමි වූ බුදුරජාණන් වහන්සේ වැඩිසේකි. මම් ඒ චිත්ත ප්‍රසාදහේතුයෙන් උත්පත්ති වශයෙන් තුෂිත දෙව්ලොවට (උපත් විසින්) පැමිණියමු.
34. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.
35. ඒකාන්තයෙන් මට ස්‍වාගතයෙක් වියැ ... බුදුසසුන් දරන ලද යැ.
36. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරන ලද්දේ යි.
මෙසේ සඞ්කමනත්‍ථ භික්‍ෂුණී මේ ගාථා ප්‍රකාශ කළා යැ.
සිවුවැනි සඞ්කමනත්‍ථා ස්ථවිරීඅපදාන යි.
1. 5 නළමාලිකා අපදානය
37. එක්කලෙක මම චන්‍ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරියක් වූමු. ස්‍වයම්භූ වූ අපරාජිත වූ විරජ වූ (සිද්ධාර්‍ත්‍ථ) බුදුරදුන් දුටුමු.
38. පහන් සිතැති (එහෙයින් මැ) සොම්නස් වූ උපන් ප්‍රීති ඇති මම් බදැඳිලි වැ නළමාලාවක් (හුණ මල්දමක්) ගෙණ (එයින්) සම්බුදුරදුන් ගරුබුහුමනින් යුතු වැ පිදුමු.
39. එ කුශලකර්‍මහේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද කිඳුරු සිරුර හැරපියා (උපත් විසින්) දේවගතියට ගියමු.
40. (එහි) සතිසක් දෙව්රජුනට මෙහෙසිබව කරවූයෙමි. (පසුව) දස සක්විති රජුනට ද මෙහෙසි වූමු. (මෙ අත්බව්හි) මා සිත සංවේගයට පමුණුවා බුදුසසුන්හි පැවැදි වූවා වෙමි.