1. 4 සඞ්කමනත්ථ අපදානය
31. ලෝකජ්යේෂ්ඨ වූ තාදී (අකම්ප්ය) ගුණයුක්ත, ප්රාණීන් (සසරකතරින්) එතෙරැ කරවන විදර්ශී භාග්යවතුන් වහන්සේ වීථියට පිළිපන්නවුන් හමියෙහි ...
32. මම් ගෙන් නික්මැ යටිහුරු වැ වැඳ වැටුණමු. ලෝකනාථයන් වහන්සේ අනුකම්පා කරන සේක් මාගේ ශීර්ෂාන්ත (කෙහෙ) ඇක්මැවූ සේක.
33. (මා) හිස ඇක්මැ ලෝකස්වාමි වූ බුදුරජාණන් වහන්සේ වැඩිසේකි. මම් ඒ චිත්ත ප්රසාදහේතුයෙන් උත්පත්ති වශයෙන් තුෂිත දෙව්ලොවට (උපත් විසින්) පැමිණියමු.
34. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... ආස්රව රහිත වැ වාස කෙරෙමි.
35. ඒකාන්තයෙන් මට ස්වාගතයෙක් වියැ ... බුදුසසුන් දරන ලද යැ.
36. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරන ලද්දේ යි.
මෙසේ සඞ්කමනත්ථ භික්ෂුණී මේ ගාථා ප්රකාශ කළා යැ.
සිවුවැනි සඞ්කමනත්ථා ස්ථවිරීඅපදාන යි.
1. 5 නළමාලිකා අපදානය
37. එක්කලෙක මම චන්ද්රභාගා නදී තීරයෙහි කිඳුරියක් වූමු. ස්වයම්භූ වූ අපරාජිත වූ විරජ වූ (සිද්ධාර්ත්ථ) බුදුරදුන් දුටුමු.
38. පහන් සිතැති (එහෙයින් මැ) සොම්නස් වූ උපන් ප්රීති ඇති මම් බදැඳිලි වැ නළමාලාවක් (හුණ මල්දමක්) ගෙණ (එයින්) සම්බුදුරදුන් ගරුබුහුමනින් යුතු වැ පිදුමු.
39. එ කුශලකර්මහේතුයෙන් ද චේතනාප්රණිධි හේතුයෙන් ද කිඳුරු සිරුර හැරපියා (උපත් විසින්) දේවගතියට ගියමු.
40. (එහි) සතිසක් දෙව්රජුනට මෙහෙසිබව කරවූයෙමි. (පසුව) දස සක්විති රජුනට ද මෙහෙසි වූමු. (මෙ අත්බව්හි) මා සිත සංවේගයට පමුණුවා බුදුසසුන්හි පැවැදි වූවා වෙමි.
41. මෙයින් සූඅනුවනකප්හි යම් පුෂ්ප පූජාවක් කරන ලද ද, (එ පිනෙන්) දුගතිය නො මැ දනිමි, මේ පුෂ්පපූජායෙහි විපාක යි.
42. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, සියලු ආස්රවයෝ ක්ෂීණයහ, දැන් (මට) පුනර්භවයෙක් නැති.
43. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... සියලු භවයෝ නසන ලදහ.
44. මට ඒකාන්තයෙන් යහපතෙක් මැ වියැ ... බුදුසසුන් කරන ලද.
45. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරන ලදි.
මෙසේ නළමාලිකා භික්ෂුණී මේ ගාථා ප්රකාශ කළා යැ.
පස්වැනි නළමාලිකා ස්ථවිරීඅපදාන යි.
1. 6 ඒකපිණ්ඩදායිකා අපදානය
46. බන්ධුමතී නගරයෙහි බන්ධුමත් නම් රජෙක් වියැ. මම් ඒ රජහට භාර්ය්යා වූමු, නිරතුරු ඉඳුරන් පිනවා වාස කළමු.
47. එකලැ මම් රහසිගත වැ හිඳ මෙසේ සිතුමු: “(පරලොව) රැගෙන යායුතු, මා විසින් කළ කුශලකර්මයෙක් නැත.
48. මහත් බිහිසුණු තැවීම් ඇති කටුක වූ භයානක ස්වභාව ඇති අතිශයින් දරුණු වූ නිරයට ඒකාන්තයෙන් යමු, තෙල කරුණෙහි ලා මට සැකයෙක් නැති.”
49. රජු කරා එළඹැ මම් මෙ වදන් කීමු: “රජතුමනි, මා හට එක් මහණ කෙනකුන් දෙනු මැනැවැ, (මම ඔවුන්) වළඳ වමු” යි.
50. මහරජ මාහට භාවිතෙන්ද්රිය මහණ කෙනකුන් දුන්නේ යැ. ඔබ පාත්රය ගෙන උතුම් බොජුනෙන් (එය) පුරවා ලීමු.
51. මම උතුම් බොජුනෙන් (පාත්රය) පුරවා සුවඳ විලවුන් ද දුනුමු දහසක් අගනා පිළිසඟළෙකින් (සිරුර) වැස්වූමු.