77. සුචිදායක ස්ථවිරාවදානය
1452. තිස්දහස්වන කපෙහි උතුම් දෙතිස් මහපුරිස්ලකුණු ඇති නමින් සුමේධ නම් වූ ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේක.
1453. තාදිගුණ ඇති කසුන්වන් වූ ද්විපදෙන්‍ද්‍ර වූ ඒ බුදුරජානන් වහන්සේ ට සිවුරු මසනු පිණිස මා විසින් හිදි (කටු) පසක් දෙනලදි.
1454. ඒ හිදිකටුදන හේතු කොට ගෙන ම සියුම් අර්‍ත්‍ථයක් විශේෂයෙන් දක්නා සුලු වූ තියුණු වූ ශීඝ්‍ර වූ පහසු වූ නුවණ මට උපන්නේ ය.
1455. සත්රුවනින් යුත් මහත් බල ඇති ද්විපදාධිපති නම් වූ සිවුරජ කෙනෙක් වූහ.
1456. මාගේ කෙලෙස් දවනලදී. සියලු භවයෝ නසන ලදහ. සම්බුදුසසුනෙහි පශ්චිමශරීරය දරමි.
1457. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සූවිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
සූවිදායක ස්ථවිරාවදානය සත්වැනියි.
78. පාටලිපුප්ඵිය ස්ථවිරාවදානය
1458. එකල්හි මම සියුමැලි වූ සුව සේ වැඩුනු සිටුපුත්‍රයෙක් වීමි. පළොල්මලක් ඔඩොක්කුවෙහි ලා එය ගෙණ ගියෙමි.
1459-1460. අතුරු අවුණෙහි (වීථියෙහි) වඩින්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ රන්ඇගෑවක් මෙන් බබලන දෙතිස් මහපුරිස්ලකුණු ඇති නරශ්‍රේෂ්ඨ වූ (අනාථ) නාථ වූ සියල්ල අවබෝධ කළ තිස්ස බුදුරජානන් වහන්සේට සතුටු වූයෙම් සතුටු සිතින් ඒ මලින් පිදීමි. උන්වහන්සේට නමස්කාර ද කෙළෙමි.
1461. එකල්හි මෙයින් දෙඅනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකයයි.
1462. මෙයින් තෙසැටවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අභිසම්මත නම් සක්විතිරජෙක් වීමි.
1463. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරාජනන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
පාටලිපුප්ඵියස්ථවිරාවදානය අටවැනියි.
79. ඨිතඤ්ජලිය ස්ථවිරාවදානය
1464. මම පෙර මහවනයෙහි මුවවැද්දෙක් වීමි. එහිදී උතුම් ලකුණු ඇති තිස්ස බුදුරජානන් වහන්සේ දිටිමි.
1465. නුදුරු තන්හි සිය පන්ඇතිරියෙහි වැඩහුන් උන්වහන්සේට මම ඇඳිලි බැඳ පෙරදිගට මුහුණ ලා ගියෙමි.
1466. එකල්හි මාගේ හිස මත සෙනක් වැටින. ඉක්බිති මැරෙණ කල්හි ද මම නැවත ඇඳිලි කෙළෙමි.