78. පාටලිපුප්ඵිය ස්ථවිරාවදානය
1458. එකල්හි මම සියුමැලි වූ සුව සේ වැඩුනු සිටුපුත්‍රයෙක් වීමි. පළොල්මලක් ඔඩොක්කුවෙහි ලා එය ගෙණ ගියෙමි.
1459-1460. අතුරු අවුණෙහි (වීථියෙහි) වඩින්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ රන්ඇගෑවක් මෙන් බබලන දෙතිස් මහපුරිස්ලකුණු ඇති නරශ්‍රේෂ්ඨ වූ (අනාථ) නාථ වූ සියල්ල අවබෝධ කළ තිස්ස බුදුරජානන් වහන්සේට සතුටු වූයෙම් සතුටු සිතින් ඒ මලින් පිදීමි. උන්වහන්සේට නමස්කාර ද කෙළෙමි.
1461. එකල්හි මෙයින් දෙඅනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකයයි.
1462. මෙයින් තෙසැටවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අභිසම්මත නම් සක්විතිරජෙක් වීමි.
1463. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරාජනන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
පාටලිපුප්ඵියස්ථවිරාවදානය අටවැනියි.
79. ඨිතඤ්ජලිය ස්ථවිරාවදානය
1464. මම පෙර මහවනයෙහි මුවවැද්දෙක් වීමි. එහිදී උතුම් ලකුණු ඇති තිස්ස බුදුරජානන් වහන්සේ දිටිමි.
1465. නුදුරු තන්හි සිය පන්ඇතිරියෙහි වැඩහුන් උන්වහන්සේට මම ඇඳිලි බැඳ පෙරදිගට මුහුණ ලා ගියෙමි.
1466. එකල්හි මාගේ හිස මත සෙනක් වැටින. ඉක්බිති මැරෙණ කල්හි ද මම නැවත ඇඳිලි කෙළෙමි.
1467. මෙයින් දෙයානූවන කපෙහි එකල්හි යම් ඇඳිලි (බැඳීමක්) කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඤ්ජලිකර්‍මයාගේ මේ විපාකය යි.
1468. සූපණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මිගකේතු නම් සක්විතිරජෙක් වීමි.
1469. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඨිතඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
ඨිතඤ්ජලියස්ථවිරාවදානය නවවැනියි.
80. තිපදුමිය ස්ථවිරාවදානය
1470. සියලු ධර්‍මයන්ගේ පරතෙරව ගිය දැමුනා වූ දැමුනවුන් විසින් පිරිවරණ ලද පස්මරුන් දිනූ පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ නුවරින් නික්මුනු සේක.
1471. එකල්හි මම හංසවතීනගරයෙහි මල්කරුවෙක් වීමි. එහි (මල් රැසෙහි) උතුම් මල් වී ද, ඒ මල්වලින් (ඉතා ශෝභාවත්) මල් තුණක් ඇරගතිමි.
1472. අතුරු අවුණෙහි පෙරමගට එන කෙලෙස් රජස් විරහිත බුදුරජානන් වහන්සේ දිටිමි. එකල්හි ඒ මම බුදුරජානන් වහන්සේ දැක මෙසේ සිතීමි:
1473. “රජුට පිරිනමනලද මේ මල්වලින් මට කවර ප්‍රයෝජන ද? ඉදින් ප්‍රයෝජනයක් වතොත් මම ගමක් හෝ ග්‍රාමක්‍ෂේත්‍රයක් හෝ ලබන්නෙමි.
1474. නොදැමුනවුන් දමනය කරන්නාවූ ප්‍රාඥ වූ සියලු සතුනට සැප එළවන්නා වූ බුදුරජානන් වහන්සේ (මේ මලින්) පුදා අමෘතධනය (=නිවණ) ලබන්නෙමි” යි කියා යි.
1475. මම මෙසේ සිතා සියසිත පැහැදවීමි. එකල්හි ලෙහෙවන් මල් තුණක් ගෙණ අහසෙහි දැමීමි.
1476. මා විසින් උඩට ඉසිනලද කෙණෙහි ඒ කුසුමයෝ අහසෙහි පැතුරුණාහුය. (තථාගතයන් වහන්සේගේ හිස) මතුයෙහි වූ එහි නැටි උඩුකුරු ව මල් අධෝමුඛ ව අහසෙහි නැවතුනාහු ය
1477. යම් කිසි මිනිස් කෙනෙක් එය දැක (සිටියාහු ද ඔහු) ප්‍රීතිඝෝෂා පැවැත්වූවාහු ය. (එසේ ම) අහසෙහි දෙවියෝ ද, සාධුනාද පැවැත්වූහ.