8. නාගසමාල වර්ගය
71. නාගසමාල ස්ථවිරාවදානය
1423. මම (නගරවාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා) නගරමැද වීථියෙහි (ගඩොල් ආදියෙන්) නිමවනලද සිඛී බුදුරජුන්ගේ ස්තූපයෙහි ආදර සහිතව පළොල්මලක් ගෙණ පිදීමි.
1424. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
1425. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති භූමිය නම් සක්විති රජෙක් වීමි.
1426. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
නාගසමාලස්ථවීරාවදානය පළමුවැනි යි.
72. පදසඤ්ඤක ස්ථවිරාවදානය
1427. තිස්ස බුදුරජානන් වහන්සේගේ ඇක්මුනු පදලස් දැක සතුටු වූයේ සතුටු සිතින් ඒ ශ්රීපාදයෙහි සිත පැහැදවීමි.
1428. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි (ශ්රීපාදය පිළිබඳ) යම් සංඥාවක් ලැබීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පදසංඥාවෙහි (සිරිපාසටහන් පිදීමෙහි) මේ විපාකය යි.
1429. මෙයින් සත්වන කපෙහි වූ සත්රුවනින් යුත් මහත් බලඇති සුමේධ නම් සක්විති රජෙක් වි ය.
1430. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
පදසඤ්ඤකස්ථවිරාවදානය දෙවැනි යි.
73. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
1431. ගසක් මුදුනෙහි ලැගුනු බුදුරජානන් වහන්සේගේ පවුල් සිවුර දැක ඉක්බිති එයට ඇඳිලි බැඳ මම ඒ පවුල්සිවුර වැන්දෙමි.
1432. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ ය යන හැඟීමෙහි මේ විපාකයයි.
1433. මෙයින් සිවුවැනි කපෙහි සිවුමහ සයුර කෙළවර කොට ඇති පොළවට අධිපති වූ සතුරුරජුන් ජයගත්තා වූ මහත් බලඇති දුමසාර නම් සක්විති රජෙක් වී ය. (=වීමි)
1434. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
බුද්ධසඤ්ඤකස්ථවිරාවදානය තෙවැනියි.
74. භිසාලුවදායක ස්ථවිරාවදානය
1435. මම මහවනයට පිවිස (එම) වනයෙහි වසමි. ලෝවැසියන්ගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවට ගෙයක් වැනි වූ විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි.
1436. (උන්වහන්සේට) අත දෝනා දිය ද නෙළුඹල ද පිදීමි. (ඉක්බිති) හිස නමා (උන්වහන්සේගේ) ශ්රීපාදයන් වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
1437. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි නෙළුඹල දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ ඒ පුණ්යකර්මයාගේ විපාකය යි.
1438. මෙයින් තෙවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති භිස නම් සක්විති රජෙක් විය (=වීමි).
1439. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාන්න වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසාලුවදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
භිසාලුවදායකස්ථවිරාවදානය සිවුවැනියි.
75. ඒකසඤ්ඤක ස්ථවිරාවදානය
1440. විපස්සී බුදුරජානන් වහන්සේගේ නමින් ඛණ්ඩ නම් වූ අග්රශ්රාවකයෙක් විය. ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසු (දක්ෂිණාර්හ) වූ උන්වහන්සේ කෙරෙහි මා විසින් එක භික්ෂාවක් දෙනලදී.
1441. ද්විපදෝත්තම වූ නරශ්රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි වූ ඒ චිත්තප්රසාදය හේතු කොට ගෙණ දුගතියක් නො දනිමි. එක භික්ෂාවෙහි මේ විපාකය යි.