65. භිසදායක ස්ථවිරාවදානය
1377. (එක් කපක වූ) බුදුවරයන් අතුරෙහි තෙවැන්නෙක් නමින් වෙස්සභූ නම් විය. පුරුෂෝත්තම වූ ඒ බුදුරජ තෙම මහවනයට පිවිස එහි විසී ය.
1378. නෙළුඹල ද නෙළුඹුදඬු ද ගෙණ බුදුරජානන් වහන්සේගේ සමීපයට ගියෙමි. පහන් වූයෙම් සියසොඬින් එය බුදුරජානන් වහන්සේට පිදීමි.
1379. උතුම් නුවණැති වෙස්සභූ බුදුරජානන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්රීහස්තයෙන් පරාමර්ශනය කරන (=පිරිමදින) ලද්දාවූ මම ඒ හා සමාන සැපයක් නො දනිමි. එයට වැඩි සැපයක් නම් කොයින් ද?
1380. සියලු භවයෝ නසන ලදහ. මාගේ මේ අන්තිම භවය වේ. එකල හස්තිරාජයකු වූ මා විසින් කුසල් බිජුවටක් රෝපණය කරනලදි.
1381. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නෙළුඹලදානයාගේ මේ විපාක ය යි.
1382. තෙළෙස්වන කපෙහි මහත් බල ඇති සමෝධාන නමින් මනුජාධිපති වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1383. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක් යි.
භිසදායකස්ථවිරාවදානය පස්වැනියි.
66. සුචින්තිත ස්ථවිරාවදානය
1384. (මම) විශිෂ්ට ජන්ම ඇති කේශරසිංහ රාජයෙකු වැනි දුර්ගයන්හි හැසිරෙන නේසාදයෙක් (=වැද්දෙක්) වීමි. මෘග සමූහයා මරාගෙණ කඳු අතරෙහි ජීවත් වෙමි.
1385. සර්වඥ වූ වාදීවර වූ ඒ අත්ථදස්සී භාග්යවත්තෙම මා (පවින්) නගා සිටුවනු කැමැත්තේ උතුම් පර්වතයට වැඩියේය.
1386. පසදමෘගයකු (තිත්මුවකු) මරා අනුභව කිරීමට එළඹියෙමි. එසමයෙහි භාග්යවත් තෙමේ පිඬු සිඟමින් (එතැනට) වැඩියේය.
1387. උතුම් මස්ගෙණ (මම) ඒ ශාස්තෲන් වහන්සේට දිනිමි. මහා වීර වූ බුදුරජානන් වහන්සේ එකල්හි සිත නිවමින් අනුමෝදනා කළසේක.
1388. මම ඒ චිත්තප්රසාදයෙන් යුතු ව ගිරිදුර්ගයට පිවිසියෙමි. ප්රීතිය උපදවා එහි කලුරිය කෙළෙමි.
1389. මේ මස්දෙන හේතු කොට ගෙණ ද, චිත්තප්රණිධීන් (=ප්රාර්ත්ථනාවන්) හේතු කොට ගෙණ ද, එක්දහස් පන්සිය කපක් දෙව්ලොවෙහි සිත් අලවා විසීමි.
1390-1391. අවශේෂ කල්පයන්හි ද මා විසින් කුසල් රැස් කරණ ලදි. එම මාංශදානයෙන් ද බුදුගුණ සිහි කිරීමෙන් ද, අටතිස්වන කපෙහි දීඝායු නම් වූ රජවරු අට දෙනෙක් වූහ. මෙයින් කල්ප සදහසකින් පෙර වරුණ නමින් රජවරු දෙදෙනෙක් වූහ.
1392. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචින්තිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
සුචින්තිතස්ථවිරාවදානය සවැනියි.