66. සුචින්තිත ස්ථවිරාවදානය
1384. (මම) විශිෂ්ට ජන්ම ඇති කේශරසිංහ රාජයෙකු වැනි දුර්‍ගයන්හි හැසිරෙන නේසාදයෙක් (=වැද්දෙක්) වීමි. මෘග සමූහයා මරාගෙණ කඳු අතරෙහි ජීවත් වෙමි.
1385. සර්‍වඥ වූ වාදීවර වූ ඒ අත්‍ථදස්සී භාග්‍යවත්තෙම මා (පවින්) නගා සිටුවනු කැමැත්තේ උතුම් පර්‍වතයට වැඩියේය.
1386. පසදමෘගයකු (තිත්මුවකු) මරා අනුභව කිරීමට එළඹියෙමි. එසමයෙහි භාග්‍යවත් තෙමේ පිඬු සිඟමින් (එතැනට) වැඩියේය.
1387. උතුම් මස්ගෙණ (මම) ඒ ශාස්තෲන් වහන්සේට දිනිමි. මහා වීර වූ බුදුරජානන් වහන්සේ එකල්හි සිත නිවමින් අනුමෝදනා කළසේක.
1388. මම ඒ චිත්තප්‍රසාදයෙන් යුතු ව ගිරිදුර්‍ගයට පිවිසියෙමි. ප්‍රීතිය උපදවා එහි කලුරිය කෙළෙමි.
1389. මේ මස්දෙන හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් (=ප්‍රාර්‍ත්‍ථනාවන්) හේතු කොට ගෙණ ද, එක්දහස් පන්සිය කපක් දෙව්ලොවෙහි සිත් අලවා විසීමි.
1390-1391. අවශේෂ කල්පයන්හි ද මා විසින් කුසල් රැස් කරණ ලදි. එම මාංශදානයෙන් ද බුදුගුණ සිහි කිරීමෙන් ද, අටතිස්වන කපෙහි දීඝායු නම් වූ රජවරු අට දෙනෙක් වූහ. මෙයින් කල්ප සදහසකින් පෙර වරුණ නමින් රජවරු දෙදෙනෙක් වූහ.
1392. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචින්තිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
සුචින්තිතස්ථවිරාවදානය සවැනියි.
67. වත්‍ථදායක ස්ථවිරාවදානය
1393. (මම) පක්‍ෂියෝනියෙහි උපන්නේ මනා පැහැ ඇති ගුරුළු රජෙක් වීමි. එකල්හි ගන්‍ධමාදන පර්‍වතයට වඩින්නා වූ බැහැර කළ කෙලෙස් රජස් ඇති බුදුරජානන් වහන්සේ දිටිමි.
1394. (දැක) ගුරුළු වෙස හැර මාණවක වෙසක් දැරීමි. තාදිගුණ ඇති ද්විපදෝත්තම බුදුරජානන් වහන්සේ ට මා විසින් එක් වස්ත්‍රයක් දෙනලදි.
1395. ලෝකයෙහි අසහාය නායක වූ ශාස්තෘ වූ බුදුරජ තෙම ඒ වස්ත්‍රය පිළිගෙන අහසෙහි සිටියේ මේ ගාථාව දෙසීය:
1396. “මේ වස්ත්‍රදානය හේතු කොට ගෙන ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද ගුරුළු අත්බව හැර දෙව්ලොව සිත් අලවා වසන්නේය.”
1397. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ වස්ත්‍රදානය පසසා උතුරු දිගට මුහුණ ලා වැඩියේය.
1398. භවයෙහි උපදින කල්හි මට වස්තුසම්පත් (ඇති) වේ. අහසෙහි වියනත් ඇති වේ. වස්තුදානයාගේ මේ විපාකය යි.
1399. සතිස්වන කපෙහි මනුෂ්‍යාධිපති වූ මහත් බල ඇති අරුණක නම ඇති සක්විති රජවරු සත්දෙනෙක් වූහ.
1400. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වත්‍ථදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
වත්‍ථදායකස්ථවිරාවදානය සත්වැනියි.
68. අම්බදායක ස්ථවිරාවදානය
1401. හිමවත් පර්‍වතාන්තරයෙහි වැඩහුන් උපධිරහිත වූ අනෝමදස්සී බුදුරජතෙම අප්‍රමාණ වූ (සත්ත්‍ව) ලෝකයෙහි මෛත්‍රිය පැතිරවීය.
1402. එකල්හි මම උතුම් හිමවත් පව්වෙහි වඳුරෙක් වීමි. අලාමක වූ අපමණ ගුණ ඇති (උන්වහන්සේ) දැක ඒ බුදුරදුන් කෙරෙහි සිත පැහැදවීමි.
1403. එකල්හි හිමවතට නුදුරු තන්හි පලගත් අඹරුක් වූහ. එයින් අඹගෙඩියක් මීවදයක් සහිතව බුදුරජානන් වහන්සේට දිනිමි.
1404-1405. අනෝමදස්සී බුදුරජානන් වහන්සේ මට මෙසේ ප්‍රකාශ කළසේක: “මේ මීවද දානයෙන් ද අඹදානයෙන් ද යන දෙකින් මෙතෙම සත් පණස් කපක් මුළුල්ලෙහි දවේලොව සිත් අලවා වසන්නේ ය. සෙසු කල්පයන්හි (දිව්‍යමනුෂ්‍ය දෙගතියෙහි) මිශ්‍රවශයෙන් සැරිසරන්නේ ය.
1406. පිරිපැසුනු නුවණින් පව්කම් ගෙවා දුගතියකට නොගොස් කෙලෙස් දවන්නේ ය.” (කියායි.)
1407. මම මහර්ෂීන් වහන්සේ විසින් උත්තම වූ දමනයෙන් (රහත් බැවින්) දමනය කරණ ලදුයේ වෙමි. ජය පරාජය දෙක හැර නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියේ වෙම්.