7. සකචින්තනිය වර්‍ගය
61. සකචින්තනිය ස්ථවිරාවදානය
1349-1350. ඍෂින් විසින් සෙවුනාලද ස්වල්ප වූ ශබ්ද ඇති කැලඹීම් රහිත මහවනයක් දැක දෙවිමිනිසුන්ගේ පූජාවන් පිළිගන්නා වූ බුදුරජානන් වහන්සේ උදෙසා වැලිසෑයක් කොට නොයෙක් මල් විසිරවීමි. නිර්මිත බුදුරදුන් ඉදිරියෙහි මෙන් මම ඒ සෑය වැන්දෙමි.
1351. ස්වකීය කර්‍මයෙන් සතුටු වූ මම (ඒ පිණින්) සත්රුවනින් යුක්ත ව රටෙහි අධිපති රජ වීමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
1352. මෙයින් එක්අනූවන කපෙහි (සෑයට) යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
1353. මම අසූවන කපෙහි සත්රුවනින් යුක්ත ව සිවුමහදිවයින්හි අධිපති වූ අනන්තයස නම් සක්විතිරජෙක් වීමි.
1354. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සකචින්තනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
සකචින්තනිය ස්ථවිරාවදානය පළමුවැනියි.
62. අවොපුප්ඵිය ස්ථවිරාවදානය
1355. (සිඛී බුදු රජ තෙම) විහාරයෙන් නික්ම සක්මනෙහි සිට චතුස්සත්‍යය ප්‍රකාශ කරන්නේ අමෘතපදය (නිර්‍වාණධර්‍මය) දේශනා කරයි.
1356. තාදීගුණ ඇති සිඛී නම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ හඬ අසා නොයෙක් මල් ගෙණවුත් අහසෙහි විසිරවීමි.
1357. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරණලද එ ම කර්‍මය හේතු කොට ගෙණ ජය පරාජය දෙක හැර නිශ්චල ස්ථානයට (නිවණට) පැමිණියෙම් වෙමි.
1358. මෙයින් එක්තිස්වන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, ඒ හේතු කොට ගෙණ දුගතියක් නො දනිමි. මල් පූජාවේ මේ විපාකය යි.
1359. මෙයින් විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමේධ නම් සක්විතිරජෙක් වීමි.
1360. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවෙපුප්ඵියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
අවොපුප්ඵියස්ථවිරාවදානය දෙවැනියි.
63. පච්චාගමනිය ස්ථවිරාවදානය
1361. මම එකල සින්‍ධූනදීතීරයෙහි හුදු සෙවෙල් අනුභව කරන්නා වූ පාපයන් කිරීමෙන් වැළකුනා වූ සක්වාලිහිණියෙක් වීමි.
1362. (එකල්හි) කෙලෙස්මල නැත්තා වූ අහස්මගෙහි ගමන් කරන්නා වූ බුදුරජු දිටිමි. (දැක) තුඩින් සල්මලක් ගෙනවුත් ඒ විපස්සී බුදුරජානන් වහන්සේට පිදීමි.
1363. “යමෙකුගේ ශ්‍රද්ධාතොමෝ තථාගතයන් වහන්සේ විෂයයෙහි නිශ්චල ව පිහිටියා ද, හෙතෙම ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ දුගතියකට නො යේ” යි (විපස්සී බුදුරජ තෙම වදාළේ ය.)
1364. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ මනා පැමිණීමෙක් විය. (සක්වා) ලිහිණියෙකු වූ මා විසින් මනා (කුශල) බීජයක් රෝපණය කරනලදී.
1365. මෙයින් එක්අනූවන කපෙහි යම් මලක් පිදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
1366. සතළොස්වනකපෙහි සුවාරුදස්සන නම් එකනම ඇති මහාබලවත් වූ සක්විතිරජවරු අටදෙනෙක් වූහ.
1367. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චාගමනියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
පච්චාගමනියස්ථවිරාවදානය තෙවැනියි.