487. පුලිනුප්පාදක ස්ථවිරාවදානය
5140. හිමවත් පව්වෙහි දේවළ නම් තවුසෙක් විය. එහි මාගේ සක්මන අමනුෂ්‍යයන් විසින් මවන ලද.
5141. එකල්හි දළමඬලින් බර වූ කමඬලා (=පැන්කෙණ්ඩි) දරන්නා වූ මම උත්තමාර්‍ත්‍ථය සොයමින් වනයෙන් නික්මුනෙමි.
5142 එකල්හි මට අසූහාරදහසක් ශිෂ්‍යයෝ උවටැන් කළාහු ය. (ඔහු) සිය කම්හි යෙදුනාහු වෙනෙහි වෙසෙත්.
5143. අසපුවෙන් නික්ම වැලිසෑයක් කෙළෙමි. නොයෙක් මල් රැස් කොට එම සෑය පිදීමි.
5144. මම එහි සිත පහදවා අසපුවට පිරිවිසෙමි. සියලු ශිෂ්‍යයෝ රැස්ව මාගෙන් මෙ කරුණ විචාළාහු ය:
5145. “භවත් වැල්ලෙන් කළ සෑයෙහි යම් දෙවියකුට නමස්කාර කෙරෙහිද එ දෙවියා අපිදු දැන ගණු කැමැත්තෙමු. අප විසින් විචාරණ ලද භවත් අපට කියනු මැනව”.
5146. අපගේ මන්ත්‍රපදයෙහි දක්වන ලද මහත් යශස් ඇති බුදුවරු වෙති. මම ඒ මහත් යශස් ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් නමදිමි.
5147. “ඒ මහාවීර වූ සර්‍වඥ වූ ලෝකනායකවරයෝ කෙබඳු වෙත් ද, කෙසේ වූ සටහන් ඇත්තෝ වෙත් ද, කෙසේ වූ ස්වභාව ඇත්තෝ වෙත් ද, ඒ මහත් සශස් ඇත්තෝ කෙබඳු වෙත් ද?”
5148. බුදුවරයෝ දෙතිස් (මහපුරිස්) ලකුණු ඇත්තෝ ය. සාළිසක් දත් ඇත්තෝ ය. උන්වහන්සේගේ ගෝපක්‍ෂමාකාර නේත්‍රයෝ හුනිඳ පලවන්හ.
5149. ඒ බුදුවරයෝ ගමන් කරන්නාහු වියදඬු පමණ ම දුර බලති. උන්වහන්සේගේ දණ හඬ නො නඟයි. (අත්පා හි) සන්‍ධි ශබ්දයක් නො ඇසෙයි.
5150. ගමන් කරන්නා වූ බුදුවරයෝ පළමු කොට දකුණුපය පෙරට තබමින් යෙත්. මේ බුදුවරයන්ගේ ධර්‍මතායි.
5151. ඒ බුදුවරයෝ කේසරසිංහරාජයන් මෙන් නිර්භීතයෝ ය. තමන් උසස් කොට නො දක්වත්. ප්‍රාණීන් (=මෙරමා) හෙළා නො දකිත්.
5152. බුදුවරයෝ මාන අවමාන දෙකින් මිදුනාහු සව්සතුන් කෙරෙහි සම සිත් ඇත්තෝ ය. තමන් හුවා නො දක්වන්නෝ ය. මේ බුදුවරයන්ගේ ධර්‍මතායි.
5153. උපදින්නා වූ ඒ බුදුවරයෝ අලෝකය දක්වත්. මේ මුළු පොළොව ආකාර සයකින් කම්පා කෙරෙත්.
5154. ඒ බුදුවරයෝ නිරය ද දකිත්. එකල්හි නිරය නිවී යෙයි. මහවැසි වසියි. මේ බුදුවරයන්ගේ ධර්‍මතා යි.
5155. අතුල්‍ය (=අසම) වූ මහත් යශස් ඇති අතිශ්‍රේෂ්ඨ වූ ඒ බුදුවරයෝ රූපකාය සම්පත්තියෙන් නොඉක්මවනු හැක්කෝ ය. තථාගතවරයෝ අප්‍රමේය ගුණ ඇත්තෝ ය.
5156. සියලු ශිෂ්‍යයෝ මාගේ වචනය ගෞරව සහිතව සතුටින් පිළිගත්තාහු ය. වචනයට අනුව ශක්ති පමණින් බල පමණින් පිළිපැද්දාහු ය.
5157. ස්වකීය කර්‍මාභිලාෂී වූ (ඔහු) මාගේ වචනය අදහන්නාහු බුදුබවට නැමී ගිය සිත් ඇත්තාහු වැලිසෑය පුදත්.
5158. එකල්හි මහත් සශස් ඇති (බෝසත්) දිව්‍යපුත්‍ර තෙමේ තුෂිත දිව්‍යලෝකයෙන් ච්‍යුතව මවුකුසැ උපන්නේ ය. දසදහසක් ලෝදා කම්පිත වීය.
5159. මම අසපුවට නුදුරෙහි සක්මනෙහි සිටියෙම් වෙමි. සියලු ශිෂ්‍යයෝ රැස්ව මාගේ සමීපයට පැමිණියාහු ය.
5160. “(පැමිණ) පෘථිවිය වෘෂභයකු මෙන් නාද කෙරෙයි. සිංහයකු මෙන් ශබ්ද පවත්වයි. සුංසුමාර නම් ජලචර ව්‍යාඞ්මත්ස්‍යයකු සේ සැලෙයි. කවර විපාකයෙක් වන්නේදැ?” යි (ඇසූහ).
5161. “වාලුකාස්තූපය සමීපයෙහි යම් බුදුවරයකු කීර්‍තනය කෙරෙම් ද ඒ භාග්‍යවත් ශාස්තෘ තෙමේ දැන් මවුකුසට එළඹියේ ය.”
5162. මම ඔවුනට ධර්‍මකථා කියා මහාමුනි වූ බුදුරජුන්හට පසසා සිය සිසුන් යවා පළහ බැඳ ගතිමි.
5163. මාගේ (ශරීර) බලය ද එකැතින් ක්‍ෂීණ විය. බලවත් ව්‍යාධියකින් මම පෙළුනෙම් වෙම්. මම් බුද්ධශ්‍රේෂ්ඨයන්වහන්සේ සිහිපත් කොට එහි කලුරිය කෙළෙමි.
5164. එකල්හි සියලු ශිෂ්‍යයෝ රැස්ව චිතකයක් කළාහු ය. මාගේ දේහය ගෙණ සෑයට නැංවූහ.
5165. හිසැ ඇඳිලි බැඳ සෑය පිරිවරා රැස්වූ ඔහු සෝහුලින් පෙළුනාහු හැඬූහ.