486. ධාතුපූජක ස්ථවිරාවදානය
5135. ලෝකනායක වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් පිරිනිවි කල්හි මම මාගේ ඥාතීන් රැස්කොට ධාතුපූජාවක් කෙළෙමි.
5136. මෙයින් සිවුඅනූවන කපෙහි යම් ධාතුපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධාතුපූජාවෙහි මේ විපාක යී.
5137. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5138. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5139. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් ධාතුපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ධාතුපූජක ස්ථවිරාවදානය සවැනියි.
487. පුලිනුප්පාදක ස්ථවිරාවදානය
5140. හිමවත් පව්වෙහි දේවළ නම් තවුසෙක් විය. එහි මාගේ සක්මන අමනුෂ්‍යයන් විසින් මවන ලද.
5141. එකල්හි දළමඬලින් බර වූ කමඬලා (=පැන්කෙණ්ඩි) දරන්නා වූ මම උත්තමාර්‍ත්‍ථය සොයමින් වනයෙන් නික්මුනෙමි.
5142 එකල්හි මට අසූහාරදහසක් ශිෂ්‍යයෝ උවටැන් කළාහු ය. (ඔහු) සිය කම්හි යෙදුනාහු වෙනෙහි වෙසෙත්.
5143. අසපුවෙන් නික්ම වැලිසෑයක් කෙළෙමි. නොයෙක් මල් රැස් කොට එම සෑය පිදීමි.
5144. මම එහි සිත පහදවා අසපුවට පිරිවිසෙමි. සියලු ශිෂ්‍යයෝ රැස්ව මාගෙන් මෙ කරුණ විචාළාහු ය:
5145. “භවත් වැල්ලෙන් කළ සෑයෙහි යම් දෙවියකුට නමස්කාර කෙරෙහිද එ දෙවියා අපිදු දැන ගණු කැමැත්තෙමු. අප විසින් විචාරණ ලද භවත් අපට කියනු මැනව”.
5146. අපගේ මන්ත්‍රපදයෙහි දක්වන ලද මහත් යශස් ඇති බුදුවරු වෙති. මම ඒ මහත් යශස් ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් නමදිමි.
5147. “ඒ මහාවීර වූ සර්‍වඥ වූ ලෝකනායකවරයෝ කෙබඳු වෙත් ද, කෙසේ වූ සටහන් ඇත්තෝ වෙත් ද, කෙසේ වූ ස්වභාව ඇත්තෝ වෙත් ද, ඒ මහත් සශස් ඇත්තෝ කෙබඳු වෙත් ද?”
5148. බුදුවරයෝ දෙතිස් (මහපුරිස්) ලකුණු ඇත්තෝ ය. සාළිසක් දත් ඇත්තෝ ය. උන්වහන්සේගේ ගෝපක්‍ෂමාකාර නේත්‍රයෝ හුනිඳ පලවන්හ.
5149. ඒ බුදුවරයෝ ගමන් කරන්නාහු වියදඬු පමණ ම දුර බලති. උන්වහන්සේගේ දණ හඬ නො නඟයි. (අත්පා හි) සන්‍ධි ශබ්දයක් නො ඇසෙයි.
5150. ගමන් කරන්නා වූ බුදුවරයෝ පළමු කොට දකුණුපය පෙරට තබමින් යෙත්. මේ බුදුවරයන්ගේ ධර්‍මතායි.
5151. ඒ බුදුවරයෝ කේසරසිංහරාජයන් මෙන් නිර්භීතයෝ ය. තමන් උසස් කොට නො දක්වත්. ප්‍රාණීන් (=මෙරමා) හෙළා නො දකිත්.