481. පංසුකූලසඤ්ඤක ස්ථවිරාවදානය
5031. සියල්ල තමා ම දත් අග්රපුද්ගල වූ තිස්ස නම් බුදුවරයෙක් විය. (එම) සර්වඥ තෙමේ පවුල් (-පංසුකූල) සිවුරු තබා විහාරයට පිවිසියේ ය.
5032. මම නමන ලද දුන්න ගෙන අහර පිණිස (වනයෙහි) හැසිරුනෙමි. කඩුව ද ගෙන මම වනයට පිවිසියෙමි.
5033. එ කල්හි එහි ගසක් මුදුනෙහි එල්වන ලද පවුල් සිවුර දුටිමි. (දැක) දුන්න එහි ම තබා සිරසෙහි ඇඳිලි බැඳ-
5034. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මහත් වූ ප්රීතියෙන් බුද්ධශ්රේෂ්ඨයන් සිහි කොට පාංසුකූල චීවරයට වැන්දෙමි.
5035. මම මෙයින් දෙයානූවන කපෙහි පසුල්සිවුරට වැන්දෙම් ද, (එ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වන්දනාවෙහි මේ විපාක යි.
5036. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිතව වෙසෙමි.
5037. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5038. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් පංසුකූලසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
පංසුකූලකසඤ්ඤක ස්ථවිරාවදානය පළමුවැනි යි.
482. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
5039. (මම) ලක්ෂණශාස්ත්රයෙහි ද ඉතිහාසයෙහි ද නිඝණ්ඩු සහිත වූ කවීන්ට හිත ක්රියාකල්පවිකල්පසංඛ්යාත කෙටුභශාස්ත්රයෙහි ද ත්රිවේදයෙහි ද පරතෙරට ගිය මන්ත්ර හදාරන්නා වූ මන්ත්රධරයෙක් වීමි.
5040. එ කල්හි ගඟසැඩවතුරු මෙන් ශිෂ්යයෝ මා වෙත එති. දිවාරෑ දෙක්හි අනලස් වූයෙම් ඔවුනට මම මන්ත්ර හදාරවමි.
5041. එ කල්හි සිද්ධාර්ත්ථ නම් සම්බුදු රජ තෙමේ ලොව පහළ විය. (මෝහ නමැති) ගනඳුර නසා ඥානාලෝකය පැවැත්වී ය.
5042. මාගේ එක්තරා ශිෂ්යයෙක් විය. හෙ තෙමේ මාගේ සෙසු සිසුනට මෙය කීය. එ කල්හි ඔහු මෙය අසා මට සැළ කළාහු ය.
5043. “සර්වඥ වූ ලෝකනායක වූ බුදුරජ තෙමේ ලොව පහළ විය. ජන තෙමේ උන්වහන්සේට අනුවර්තනය වේ. අපට ලාභයෙක් නො වන්නේය. (කියා යි.)
5044. මහත් යශස් ඇති පසැස් ඇත්තා වූ බුදුවරයෝ (දිව්යබ්රහ්මාදී කිසිවකුන්ගේ උපදේශහේතු විරහිත ව) ලොව පහළවන්නෝ වෙති. මම ලෝකනායක වූ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ දකින්නෙම් නම් ඉතා යෙහෙකැයි (සිතීමි)
5045. සිතා මාගේ අඳුන්දිවිසම ද වැහැරි සිවුර ද, කමඬලාව (-පැන්කෙණ්ඩිය) ද ගෙණ අසපුවෙන් නික්ම මම සිසුන් ඇමතීමි.