482. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
5039. (මම) ලක්ෂණශාස්ත්රයෙහි ද ඉතිහාසයෙහි ද නිඝණ්ඩු සහිත වූ කවීන්ට හිත ක්රියාකල්පවිකල්පසංඛ්යාත කෙටුභශාස්ත්රයෙහි ද ත්රිවේදයෙහි ද පරතෙරට ගිය මන්ත්ර හදාරන්නා වූ මන්ත්රධරයෙක් වීමි.
5040. එ කල්හි ගඟසැඩවතුරු මෙන් ශිෂ්යයෝ මා වෙත එති. දිවාරෑ දෙක්හි අනලස් වූයෙම් ඔවුනට මම මන්ත්ර හදාරවමි.
5041. එ කල්හි සිද්ධාර්ත්ථ නම් සම්බුදු රජ තෙමේ ලොව පහළ විය. (මෝහ නමැති) ගනඳුර නසා ඥානාලෝකය පැවැත්වී ය.
5042. මාගේ එක්තරා ශිෂ්යයෙක් විය. හෙ තෙමේ මාගේ සෙසු සිසුනට මෙය කීය. එ කල්හි ඔහු මෙය අසා මට සැළ කළාහු ය.
5043. “සර්වඥ වූ ලෝකනායක වූ බුදුරජ තෙමේ ලොව පහළ විය. ජන තෙමේ උන්වහන්සේට අනුවර්තනය වේ. අපට ලාභයෙක් නො වන්නේය. (කියා යි.)
5044. මහත් යශස් ඇති පසැස් ඇත්තා වූ බුදුවරයෝ (දිව්යබ්රහ්මාදී කිසිවකුන්ගේ උපදේශහේතු විරහිත ව) ලොව පහළවන්නෝ වෙති. මම ලෝකනායක වූ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ දකින්නෙම් නම් ඉතා යෙහෙකැයි (සිතීමි)
5045. සිතා මාගේ අඳුන්දිවිසම ද වැහැරි සිවුර ද, කමඬලාව (-පැන්කෙණ්ඩිය) ද ගෙණ අසපුවෙන් නික්ම මම සිසුන් ඇමතීමි.
5046. “දිඹුල් මල් මෙන් ද, සඳෙහි සාවා මෙන් ද, කපුටන්ගේ කිරි මෙන් ද, බුදුවරයෝ දුර්ලභයහ.
5047. බුදුරජ තෙමේ ලොව උපන්නේ ය මිනිසත් බව ද දුබල ය. මේ (බුද්ධෝත්පාදය-මිනිසත්බව) දෙක ම ඇති කල්හි සද්ධර්ම ශ්රවණය අතිශයින් දුර්ලභ ය.
5048. බුදුරජ තෙමේ ලොව උපන්නේ ය. පින්වතුනි, අපගේ (දහම්) ඇස ලබමු. එවු, සියල්ලෝ ම සම්බුදුරජුන්ගේ සමීපයට යන්නෙමු”.
5049. එ කල්හි සියල්ලෝ කමඬලා (-පැන්කෙණ්ඩිය) දරන්නාහු කුර සහිත අඳුන්දිවිසම් හැන්දාහු දළමඬුලු බරින් බර වූවාහු වනයෙන් නික්මුනාහු ය.
5050. වියදඬු පමණ දුර බලන්නාහු උත්තමාර්ත්ථය වූ නිවණ සොයන්නාහු ඇලුම්දොස් නැත්තාහු නිර්භය කේශරසිංහයන් වැනි වූවාහු-
5051. ස්වල්පකෘත්ය ඇත්තාහු ලොල් නො වූවාහු ප්රඥා ඇත්තාහු සන්හුන් පැවතුම් ඇත්තාහු පිණ්ඩචරියාවෙහි හැසිරෙන්නාහු ඔහු බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට එළඹියාහු ය.
5052. (එසේ එළඹෙන කල්හි) යොදුන් එකහමාරක් ශේෂව ඇති කල්හි මට ව්යාධියක් උපන්නේ ය. බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කොට එහි දී මම කලුරිය කෙළෙම් වෙමි.
5053. මෙයින් සිවුඅනූ වන කපෙහි වූ එ කල්හි යම් බුද්ධසංඥාවක් (බුදුන් පිළිබඳ හැඟීමක්) ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි මේ විපාක යි.
5054. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිතව වෙසෙමි.
5055. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5056. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය දෙවැනි යි.