449. වේදිකාරක ස්ථවිරාවදානය
4777. පදුමුත්තර බුදුරජුන්ගේ ශ්රේෂ්ඨ වෘක්ෂරාජයා වූ බෝධියෙහි වේදිකාවක් මැනැවින් කොට සිය සිත පැහැද වීමි.
4778. එහෙයින් කළා වූ ද නො කළා වූ ද භාණ්ඩයෝ අහසින් වැටෙත්. වේදිකාදානයෙහි මේ විපාකයි.
4779. දෙපසින් නැගසිටි භයානක යුදෙහි දී ද (ඉදිරියට) පනින්නෙම් නමුදු භයජනක අරමුණක් නො දනිමි. වේදිකා දනෙහි මේ විපාකයි.
4780. මාගේ අදහස දැන ශුභ වූ විමනක් නිපදේ. මාහැඟි සයනයෝ ද වෙත් වේදිකා දානයෙහි මේ විපාකයි.
4781. මෙයින් සියදහස්වන කපෙහි මම යම් වේදිකාවක් කරවූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වේදිකා දානයෙහි මේ විපාකයි.
4782. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
4783. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4784. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් වේදිකාරක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
වේදිකාරක ස්ථවිරාවදානය නවවැනියි.
450. බෝධිඝරිය ස්ථවිරාවදානය
4785. ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති සිද්ධාර්ත්ථ බුදුරජුන්හට පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බෝධිගෘහයක් කරවීමි.
4786. (ඒ හේතුවෙන්) තුසිතයෙහි උපන්නෙම් වෙමි. රතනගෘහයෙහි වසමි. මාගේ සිරුරෙහි ශීතය හෝ උෂ්ණය හෝ වාතය හෝ නො පහස්නේ ය.
4787. මම මෙයින් පන්සැටවන කපෙහි සක්විතිරජ වීමි. මට විශ්වකර්මයා විසින් මවන ලද කාසික නම් නුවරක් විය.
4788. දසයොදුනක් දිග අටයොදුනක් පුළුල් ඒ නගරයෙහි දඬු හෝ වැල් හෝ මැටි (මෙයින් කළ දැයක්) නැත.
4789. (එහි) විශ්වකර්මයා විසින් මවන ලද මඞ්ගල නම් ප්රාසාදය යොදුනක් දිග ය. අටයොදුනක් පුළුල් ය.
4790. (එහි) සුවාසූ දහසක් රන්මුවා ටැම් විය. මුදුන්ගෙවල් මිණිමුවා වූහ. සෙවෙනිය (=පියසි) රිදීමුවා විය.
4791. සර්වස්වර්ණමය ගෘහයක් විශ්වකර්මයා විසින් මවන ලදී. තෙල මවිසින් වසන ලදී. ගෘහදානයාගේ මේ විපාකයි.
4792. දෙවි මිනිස් බෙවෙහි එ හැම සමිපත් අනුභව කොට අද නිරුත්තර ශාන්තිපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.
4793. මෙයින් සිවුඅනූවන කපෙහි යම් බෝධිගෘහයක් කරවූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගෘහදානයාගේ මේ විපාකයි.
4794. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
4795. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.