448. පාදපීඨිය ස්ථවිරාවදානය
4766. අග්‍ර වූ කාරුණික වූ මෝනෙය්‍යගුණ ඇති මහත් යශස් ඇති ඒ සුමේධ නම් සර්‍වඥ තෙම බොහෝ සත්ත්‍වයන් (සසරසයුරින්) එතෙර කරවා පිරිනිවන් පෑය.
4767. සුමේධ බුදුරජුන්ගේ සිහසුන් සමීපයෙහි පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පාපුටුවක් කෙළෙමි.
4768. සැපවිපාක ඇති සුව ගෙණ දෙන්නා වූ කුශලකර්‍මය කොට මම ඒ කුශලකර්‍මය හා යෙදුනෙම් තවිතිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
4769. පුණ්‍යකර්‍මයෙන් සමන්‍වාගත එහි වසන්නා වූ මට පියවර ඔසවත් ම ස්වර්‍ණමය (පාද) පීඨයෝ පහළ වෙත්.
4770. යමෙක් බුදුරජුන්ගේ හමුයෙහි සිට දහම් ඇසීම ලබත් නම් ඔවුන්හට එය ලාභයෙකි. පිරිනිවි කල්හි ද (උන්වහන්සේ කෙරෙහි) සත්කාර කොට මහත් වූ සැප ලබත්.
4771. මා විසිනුදු (උන්වහන්සේ කෙරෙහි) මැනවින් යොදන ලද වෙළඳාමක් බඳු පුණ්‍යකර්‍මයක් මොනොවට කරණ ලදී. මම පාපුටුවක් පූජා කොට රන්පුටුවක් ලබමි.
4772. කිසියම් හේතුවකින් මම යම් යම් දිශාවකට යෙම් නම්, රන්පුටුයෙහි ම පා තබමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකයි.
4773. එකල්හි තිස්දහස්කපකින් පෙර යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාදපීඨදානයාගේ මේ විපාකයි.
4774. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4775. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4776. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් පාදපීඨිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පාදපීඨිය ස්ථවිරාවදානය අටවැනියි.
449. වේදිකාරක ස්ථවිරාවදානය
4777. පදුමුත්තර බුදුරජුන්ගේ ශ්‍රේෂ්ඨ වෘක්‍ෂරාජයා වූ බෝධියෙහි වේදිකාවක් මැනැවින් කොට සිය සිත පැහැද වීමි.
4778. එහෙයින් කළා වූ ද නො කළා වූ ද භාණ්ඩයෝ අහසින් වැටෙත්. වේදිකාදානයෙහි මේ විපාකයි.
4779. දෙපසින් නැගසිටි භයානක යුදෙහි දී ද (ඉදිරියට) පනින්නෙම් නමුදු භයජනක අරමුණක් නො දනිමි. වේදිකා දනෙහි මේ විපාකයි.
4780. මාගේ අදහස දැන ශුභ වූ විමනක් නිපදේ. මාහැඟි සයනයෝ ද වෙත් වේදිකා දානයෙහි මේ විපාකයි.
4781. මෙයින් සියදහස්වන කපෙහි මම යම් වේදිකාවක් කරවූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වේදිකා දානයෙහි මේ විපාකයි.
4782. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.