443. බිල්ලඵලිය ස්ථවිරාවදානය
4731. මා විසින් චන්‍ද්‍රභාගා නදීතීරයෙහි බෙලිගසින් ගැවසුනු නා නා වෘක්‍ෂයන්ගෙන් සෙව්නා ලද අසපුවක් මනාකොට කරණ ලදි.
4732. සුවඳැති බෙලි පලයක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි. සතුටු වූයෙම් (ප්‍රීතියෙන්) ඉපිළැ ගිය සිතැත්තේ කදක් බර පුරවා ගෙණ,
4733. කකුසඳ බුදුරදුන් වෙත එළඹ මම පුණ්‍යක්‍ෂේත්‍ර වූ වීර වූ උන්වහන්සේට පැහැදි සිතින් ඉදුනු බෙලිගෙඩිය දුනුමි.
4734. මෙම කල්පයෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකයි.
4735. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇතිරජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4736. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4737. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් බිල්ලඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බිල්ලඵලිය ස්ථවිරාවදානය තෙවැනියි.
444. භල්ලාතදායක ස්ථවිරාදානය
4738. මහ වනහිසින් වඩනා වූ උතුම් වූ දෙතිසමහපුරිස්ලකුණු ඇති පිපුණු සල්රුකක් බඳු ස්වර්‍ණවර්‍ණ වූ (බුදුරජුන් දුටිමි.)
4739. මම තණඇතිරියක් පනවා බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට අයැදුම් කෙළෙමි: “බුදුරජ තෙම මට අනුකම්පා කෙරේවා. භික්‍ෂාව දෙන්නට කැමැත්තෙමි” යි.
4740. (ලොවට) අනුකම්පා කරන්නා වූ කාරුණික වූ මහත් යශස් ඇති අත්‍ථදස්සී බුදුරජ තෙම මා අදහස දැන මාගේ අසපුවෙහි බැස්සේ ය.
4741. බුදුරජ තෙම (අහසින්) බැස පන්ඇතිරියෙහි වැඩහුන්නේ ය. මම බදුළු (ගෙඩි) ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
4742. එකල්හි මා (වළඳත් දෝ හෝ නො වළඳත් දෝ හෝ යි) සිතමින් සිටිය දී සර්‍වඥ තෙම එය වැළඳී ය. එහි සිත පහදවා එකල බුදුරජුන් වැන්දෙමි.
4743. එකල්හි අටළොස් සියවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකයි.
4744. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආනාස්‍රව ව වෙසෙමි.
4745. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4746. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් භල්ලාතකදායක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
භල්ලාතදායක ස්ථවිරාවදානය සිවුවැනියි.
445. උත්තලිපුප්ඵිය ස්ථවිරාවදානය
4747. මැනවින් වැඩුනු නිල්පැහැ ඇති නාගබෝධිවෘක්‍ෂයෙහි උත්තලි පුෂ්පදාමයක් ගෙණ පිදීමි.
4748. මෙම කල්පයෙහි ම යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.