435. උච්ඡුඛණ්ඩික ස්ථවිරාවදානය
4673. මම බන්‍ධුමතී නගරයෙහි ද්වාරපාලක වීමි. (එකල්හි) නිර්‍මල වූ සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියා වූ බුදුරජුන් දිටිමි.
4674. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මහර්ෂි වූ විපස්සී නම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේහට උක් කඩක් ගෙන දුනිමි.
4675. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් උක් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උක්කඩක් දීමේ මේ විපාක යි.
4676. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4677. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ද අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4678. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් උච්ජුඛණ්ඩික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උච්ඡුඛණ්ඩිකස්ථවිරාවදානය පස්වැනි යි.
436. කලම්බදායක ස්ථවිරාවදානය
4679. රෝමස නම් (පසේ) බුදුන් වහන්සේ කඳු අතරෙහි වැඩ වසන සේක. පහන් වූයෙම් (මම) උන්වහන්සේට සියතින් විලපලා දුනිමි.
4680. එකල්හි මෙයින් සිවුඅනූවන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. විලපලා දනෙහි මේ විපාක යි.
4681. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4682. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ද අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4683. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් කලම්බදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කලම්බදායකස්ථවිරාවදානය සවැනියි.
437. අම්බාටකදායක ස්ථවිරාවදානය
4684. මහවනයෙහි දී සියල්ල තෙමේ ම දත් පස් මරුන් දිනූ බුදුරජුන් දැක මම ඇඹරැල්ල (ගෙඩියක්) ගෙණ එම බුදුරජුන් හට දුනිමි.
4685. මෙයින් එක්තිස් වන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.