44. ඒකවිහාරී වර්ගය
431. ඒකවිහාරිය ස්ථවිරාවදානය
4630. මේ මහාහද්ර කල්පයෙහි බ්රාහ්මණ කුලයෙහි උපන් මහා යශස් ඇති, (ඇපි බුදු වම්හයි) කියනුවන් අතුරෙහි ශ්රේෂ්ඨ වූ ගෝත්රයෙන් කාශ්යප නම් වූ බුදුහු ලොවැ පහළ වූහ.
4631. (තෘෂ්ණාදි) ප්රපඤ්ච රහිත වූ ආලම්බන රහිත වූ ආකාශසම (නොගැටෙන) සිත් ඇති ශුන්යතා බහුල කොට ඇති (ලාභාලාභාදියෙහි) තාදීගුණ ඇති අනිමිත්තලක්ෂණ නිවනෙහි ඇලුනු වසඟකළ ඉඳුරන් ඇති-
4632. (රාගාදි විසින්) නො ඇලුනු සිත් ඇති කෙලෙස් රහිත වූ කුලයා කෙරෙහි ගණයා කෙරෙහි නො ඇලුනු මහත් කරුණා ඇති වීර වූ (සත්ත්වයන්) හික්මවන උපායෙහි නිපුණ වූ-
4633-4634. පරවැඩෙහි උත්සුක වූ දෙවියන් සහිත ලෝකයා හික්මවන ලෝකයා සසරින් එතෙර කරවන යම් බුදු කෙනෙක් මහ පිරිස් මැද වැඩ හුන්නාහු නිවන් ගමනට මාර්ගවූ පස්ගති නමැති කලල් වියලවන පරමාස්වාද වූ ජරාමරණ වළහන අමෘතය දැක්වූ සේක් ද,
4635. කොවුලන්ට බඳු නාද ඇති ලෝකනාථ වූ බ්රහ්ම ඝෝෂ ඇති තථාගත වූ ඒ බුදුහු (මාර්ගදේශක) නායකයෙකු නැති (එහෙයින්ම) නට මාර්ග ඇති සත්ත්වයන් සංසාර මහාදුර්ගයෙන් නගාලමින්-
4636. මාර්ග ධර්මය දෙසන ලෝකනායක වූ බුදුහු මා විසින් දක්නා ලදහ. ඔබගේ දහම් අසා (මම) ශාසනයෙහි පැවිදි වීමි.
4637. එකල්හි දු මම පැවිදිව ගණ සසගින් පෙළුනෙම් බුදුසසුන් සිතමින් එකලාව ම සිත්කලු වෙනෙහි වාසය කෙළෙමි.
4638. ගණසංසර්ගයෙහි බිය දක්නා සුලු වූ මාගේ ස්වකීය කාය විවේකය චිත්තයාගේ විවේකයට මහත් හේතු වූයේ වී.
4639. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
4640. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4641. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඒකවිහාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකවිහාරියස්ථවිරාවදානය පළමුවැනියි.
432. ඒකසඞ්ඛිය ස්ථවිරාවදානය
4642. විපස්සී බුදුරජුන්ගේ මහාබෝධියට පූජාවක් විය. මහජනයා රැස්ව උතුම් බෝධියට පූජා කෙරෙත්.
4643. යම් ශාස්තෘවරයකුගේ බෝධිය ද මෙබඳු පූජනීය වස්තුවක් නම්, ඒ උතුමා ලාමක කෙනෙකැයි නො හඟිම්. බුද්ධශ්රේෂ්ඨයෙක් වන්නේ ය.
4644. ඉක්බිති සකක් ගෙණ බෝරුක වෙත එළඹියෙමි. මුළු දවසෙහි ම එය පිඹිමින් උතුම් බෝධිය වැන්දෙමි.
4645. මරණාසන්න කල්හි කරණ ලද පුණ්යකර්මය මා දෙව්ලොවට පැමිණවිය. මාගේ සිරුර මැරී වැටිනි. මම දෙව්ලොව සිත් අලවා වසමි.
4646. තුටුපහටු වූ ප්රමුදිත වූ සැටදහසක් තූර්ය්ය (වාදකයෝ) හැම කල්හි මට උවටැන් කෙරෙත්. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4647. එක්සැත්තෑවන කපෙහි සිවුමහ දිවයින් හා සිව්සයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ සතුරු රජුන් ජයගන්නා සුලු වූ ජම්බුද්වීපයට අධිපති වූ සුදස්සන නම් (සක්විති) රජෙක් වීමි.
4648. එහි සප්තාඞ්ගික තුර්ය්යයයෝ හැම කල්හි මා පිරිවරත්. ස්වකීය කර්මය අනුභව කරමි. (බෝධි) උපස්ථානයාගේ මේ විපාක යි.
4649. දිව්ය වූ හෝ මනුෂ්ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම් මවුකුස පිළිසිඳ ගත්තා වූ ද (මට) හැම කල්හි හෙරීහු වයනු ලැබෙත්.
4650. සම්බුදුරජුන් වෙත එළඹ, සම්පත් අනුභව කොට අතිශයින් ක්ෂේම වූ ශිව වූ අමෘත වූ අවලපදය වන නිවනට පැමිණියෙම් වෙමි.
4651. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4652. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.