432. ඒකසඞ්ඛිය ස්ථවිරාවදානය
4642. විපස්සී බුදුරජුන්ගේ මහාබෝධියට පූජාවක් විය. මහජනයා රැස්ව උතුම් බෝධියට පූජා කෙරෙත්.
4643. යම් ශාස්තෘවරයකුගේ බෝධිය ද මෙබඳු පූජනීය වස්තුවක් නම්, ඒ උතුමා ලාමක කෙනෙකැයි නො හඟිම්. බුද්ධශ්‍රේෂ්ඨයෙක් වන්නේ ය.
4644. ඉක්බිති සකක් ගෙණ බෝරුක වෙත එළඹියෙමි. මුළු දවසෙහි ම එය පිඹිමින් උතුම් බෝධිය වැන්දෙමි.
4645. මරණාසන්න කල්හි කරණ ලද පුණ්‍යකර්‍මය මා දෙව්ලොවට පැමිණවිය. මාගේ සිරුර මැරී වැටිනි. මම දෙව්ලොව සිත් අලවා වසමි.
4646. තුටුපහටු වූ ප්‍රමුදිත වූ සැටදහසක් තූර්‍ය්‍ය (වාදකයෝ) හැම කල්හි මට උවටැන් කෙරෙත්. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4647. එක්සැත්තෑවන කපෙහි සිවුමහ දිවයින් හා සිව්සයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ සතුරු රජුන් ජයගන්නා සුලු වූ ජම්බුද්වීපයට අධිපති වූ සුදස්සන නම් (සක්විති) රජෙක් වීමි.
4648. එහි සප්තාඞ්ගික තුර්‍ය්‍යයයෝ හැම කල්හි මා පිරිවරත්. ස්වකීය කර්‍මය අනුභව කරමි. (බෝධි) උපස්ථානයාගේ මේ විපාක යි.
4649. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම් මවුකුස පිළිසිඳ ගත්තා වූ ද (මට) හැම කල්හි හෙරීහු වයනු ලැබෙත්.
4650. සම්බුදුරජුන් වෙත එළඹ, සම්පත් අනුභව කොට අතිශයින් ක්‍ෂේම වූ ශිව වූ අමෘත වූ අවලපදය වන නිවනට පැමිණියෙම් වෙමි.
4651. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4652. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4653. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ ද අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4654. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඒකසඞ්ඛිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකසඞ්ඛියස්ථවිරාවදානය දෙවැනියි.
433. පාටිහීරසඤ්ඤක ස්ථවිරාවදානය
4655. එකල්හි ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට යෝග්‍ය වූ පදුමුත්තර නම් බුදුරජ තෙමේ රහතුන් ලක්‍ෂයක් සමග නුවරට පිවිසියේ ය.
4656. තාදීගුණ ඇති උපශාන්ත වූ (උන්වහන්සේ) නගරයට පිවිසෙන කල්හි රත්නයෝ (තුමූ ම) බැබලුනාහු ය. එකෙණෙහි මහත් ඝෝෂාවක් ද විය.
4657. නගරයට පිවිසෙන්නා වූ බුදුරජුන් ඉදිරියෙහි බුද්ධානුභාවයෙන් නො ගටන ලද භේරීහු (තුමූ ම) ශබ්ද වූවාහු ය. වීණාවෝ තුමූ ම වැයෙත්.
4658. මහාමුනි වූ පදුමුත්තර නම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ නො දකිමි. ප්‍රාතිහාර්‍ය්‍යය දැක එහි සිත පැහැද වීමි.
4659. “බුදුරජ තෙම ආශ්චර්‍ය්‍ය ය. ධර්‍මය ආශ්චර්‍ය්‍ය ය. අපගේ ශාස්‍තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍ය ය. අචේතන වූ තූර්‍ය්‍යයෝ පවා තුමූ ම වැයෙත්.
4660. එකල්හි මෙයින් සියදහස් වන කපෙහි යම් බුද්ධසංඥාවක් ලදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි මේ විපාක යි.
4661. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4662. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4663. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් පාටිහීරසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
පාටිහීරසඤ්ඤක ස්ථවිරාවදානය තෙවැනියි.