433. පාටිහීරසඤ්ඤක ස්ථවිරාවදානය
4655. එකල්හි ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට යෝග්ය වූ පදුමුත්තර නම් බුදුරජ තෙමේ රහතුන් ලක්ෂයක් සමග නුවරට පිවිසියේ ය.
4656. තාදීගුණ ඇති උපශාන්ත වූ (උන්වහන්සේ) නගරයට පිවිසෙන කල්හි රත්නයෝ (තුමූ ම) බැබලුනාහු ය. එකෙණෙහි මහත් ඝෝෂාවක් ද විය.
4657. නගරයට පිවිසෙන්නා වූ බුදුරජුන් ඉදිරියෙහි බුද්ධානුභාවයෙන් නො ගටන ලද භේරීහු (තුමූ ම) ශබ්ද වූවාහු ය. වීණාවෝ තුමූ ම වැයෙත්.
4658. මහාමුනි වූ පදුමුත්තර නම් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ නො දකිමි. ප්රාතිහාර්ය්යය දැක එහි සිත පැහැද වීමි.
4659. “බුදුරජ තෙම ආශ්චර්ය්ය ය. ධර්මය ආශ්චර්ය්ය ය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්ය්ය ය. අචේතන වූ තූර්ය්යයෝ පවා තුමූ ම වැයෙත්.
4660. එකල්හි මෙයින් සියදහස් වන කපෙහි යම් බුද්ධසංඥාවක් ලදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි මේ විපාක යි.
4661. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
4662. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4663. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් පාටිහීරසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
පාටිහීරසඤ්ඤක ස්ථවිරාවදානය තෙවැනියි.
434. ඤාණත්ථවික ස්ථවිරාවදානය
4664. කිණිහිරි රුකක් මෙන් දිලිසෙන, ප්රදීපවෘක්ෂයක් මෙන් බබලන ස්වර්ණයක් මෙන් රැස් පතුරුවන ද්විපද්රෙත්තම වූ බුදුරජුන් දුටිමි.
4665. මම කමඬලාව ද වැහැරිසිවුර ද කෙණ්ඩිය ද තබා අඳුන් දිවිසම එකස් කොට බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට ස්තුති කෙළෙමි.
4666. මහාමුනීන් වහන්ස, (ඔබ) මෝහජාලයෙන් අවුල් වූ ගණඳුර නසමින් ඥානාලෝකයා දක්වා (සසර සයුරින්) එතර වූ සේක.
4667. නිරුත්තර වූ තථාගතයන් වහන්ස, සියලු සත්ත්වයන් සහිත් මේ ලෝකය (සසරින්) ගොඩ ලනු මැනව. ලෝකය යම්තාක් ද ඒතාක් ඔබවහන්සේගේ නුවණ විෂයෙහි උපමාවෙක් නැත.
4668. ඒ අනුපම ඥානයෙන් සර්වඥ වූ සේක් “බුද්ධ” ය යි කියනු ලැබේ. මහාවීරයන් වහන්ස, ආවරණ රහිත වූ ඒ සර්වඥතාඥානය වඳිමි.
4669. මම මෙයින් සියදහස් වන කපෙහි බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට ස්තුති කෙළෙමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සර්වඥතාඥානයට පැසසීමෙහි මේ විපාක යි.
4670. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
4671. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4672. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඤාණත්ථවික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඤාණත්ථවික ස්ථවිරාවදානය සිවුවැනියි.
435. උච්ඡුඛණ්ඩික ස්ථවිරාවදානය
4673. මම බන්ධුමතී නගරයෙහි ද්වාරපාලක වීමි. (එකල්හි) නිර්මල වූ සියලු ධර්මයන්ගේ පරතෙරට ගියා වූ බුදුරජුන් දිටිමි.
4674. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මහර්ෂි වූ විපස්සී නම් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේහට උක් කඩක් ගෙන දුනිමි.
4675. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් උක් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උක්කඩක් දීමේ මේ විපාක යි.