430. සොණ්ණකොන්තරික ස්ථවිරාවදානය
4617. සම්භාවනීය වූ, ආත්මය (-සිත) දමනය කළා වූ, සන්හුන් වූ, ශ්රේෂ්ඨ ප්රතිපද්රමාර්ගයෙහි ගමන් කරන්නා වූ චිත්තව්යූපශමයෙහි ඇළුනා වූ, සියල්ල අවබෝධ කළා වූ-
4618. තරණය කරණ ලද චතුරෝඝ ඇති ධ්යාන කරන්නා වූ, ධ්යානයෙහි ඇළුනා වූ, මෝනෙය්ය ගුණයන්ගෙන් යුතු වූ, වැඩහුන්නා වූ සමාධියට සමවැදුනා වූ උපුල් පෙති පැහැ ඇති, සම්බුදුරජුන් (දුටිමි.)
4619. දැක ලබුකැටයකින් දිය ගෙණ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. බුදුරජුන්ගේ සිරිපා දොවා මම ලබුකැටය දුනිමි.
4620. පදුමුත්තර බුදු රජ තෙමේ “මෙම ලබුකබලින් දිය ගෙනවුත් මාගේ පාමුල තබව” යි අණ කෙළේය.
4621. මම බුද්ධගෞරවයෙන් “යහපතැ” යි පිළිවදන් දී ලබුකබලින් දිය ගෙනවුත් බුද්ධශ්රේෂ්ඨයන් වෙත එළවීමි.
4622. මහාවීර වූ බුදුරජ තෙමේ “මේ ලබුකැටය දීමෙන් තාගේ අදහස් සමෘද්ධ වේ වා” යි මාගේ සිත නිවමින් අනුමෝදනා කෙළේ ය.
4623. මම පසළොස් කපෙක් හි දෙව්ලොව සිත් අලවා විසීමි. එසේ ම තිස් වරක් සක්විති රජ වීමි.
4624. දවල්හි හෝ රැයෙහි හෝ සක්මන් කරන්නා වූ ද, සිටිනා වූ ද, මාගේ ඉදිරියෙහි රන්කෙඬියක් ගෙණ (-කිසිවෙක්) සිටි.
4625. බුදුරජුන්හට ලබුකබලක් පුදා රන්කෙඬියක් ලබමි. තාදීගුණ ඇති උතුමන් කෙරෙහි ස්වල්ප වශයෙන් කරණ ලද පින ද මහත්ඵල වේ.
4626. එකල්හි මෙයින් සියදහස් වන කපෙහි යම් ලබු දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ලබු දනෙහි මේ විපාක යි.
4627. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිත ව වෙසෙමි.
4628. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4629. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් සොණ්ණකොන්තරික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සොණ්ණකොන්තරික ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
සකිංසම්මජ්ජක ඒකදුස්සී එකාසනී
කදම්බකොරණ්ඩක ද ඝතමණ්ඩ සවණික ද
සුචින්තිතකිඞ්කිණික සොණ්ණකොන්තරිකැයි දස
එක්සිය එක්සැත්තෑ ගීයෙන් එය කියන ලදි.
කදම්බකොරණ්ඩක ද ඝතමණ්ඩ සවණික ද
සුචින්තිතකිඞ්කිණික සොණ්ණකොන්තරිකැයි දස
එක්සිය එක්සැත්තෑ ගීයෙන් එය කියන ලදි.
සකිංසම්මජ්ජක වර්ගය තෙසාළිස් වැනියි.
44. ඒකවිහාරී වර්ගය
431. ඒකවිහාරිය ස්ථවිරාවදානය
4630. මේ මහාහද්ර කල්පයෙහි බ්රාහ්මණ කුලයෙහි උපන් මහා යශස් ඇති, (ඇපි බුදු වම්හයි) කියනුවන් අතුරෙහි ශ්රේෂ්ඨ වූ ගෝත්රයෙන් කාශ්යප නම් වූ බුදුහු ලොවැ පහළ වූහ.
4631. (තෘෂ්ණාදි) ප්රපඤ්ච රහිත වූ ආලම්බන රහිත වූ ආකාශසම (නොගැටෙන) සිත් ඇති ශුන්යතා බහුල කොට ඇති (ලාභාලාභාදියෙහි) තාදීගුණ ඇති අනිමිත්තලක්ෂණ නිවනෙහි ඇලුනු වසඟකළ ඉඳුරන් ඇති-
4632. (රාගාදි විසින්) නො ඇලුනු සිත් ඇති කෙලෙස් රහිත වූ කුලයා කෙරෙහි ගණයා කෙරෙහි නො ඇලුනු මහත් කරුණා ඇති වීර වූ (සත්ත්වයන්) හික්මවන උපායෙහි නිපුණ වූ-
4633-4634. පරවැඩෙහි උත්සුක වූ දෙවියන් සහිත ලෝකයා හික්මවන ලෝකයා සසරින් එතෙර කරවන යම් බුදු කෙනෙක් මහ පිරිස් මැද වැඩ හුන්නාහු නිවන් ගමනට මාර්ගවූ පස්ගති නමැති කලල් වියලවන පරමාස්වාද වූ ජරාමරණ වළහන අමෘතය දැක්වූ සේක් ද,
4635. කොවුලන්ට බඳු නාද ඇති ලෝකනාථ වූ බ්රහ්ම ඝෝෂ ඇති තථාගත වූ ඒ බුදුහු (මාර්ගදේශක) නායකයෙකු නැති (එහෙයින්ම) නට මාර්ග ඇති සත්ත්වයන් සංසාර මහාදුර්ගයෙන් නගාලමින්-
4636. මාර්ග ධර්මය දෙසන ලෝකනායක වූ බුදුහු මා විසින් දක්නා ලදහ. ඔබගේ දහම් අසා (මම) ශාසනයෙහි පැවිදි වීමි.
4637. එකල්හි දු මම පැවිදිව ගණ සසගින් පෙළුනෙම් බුදුසසුන් සිතමින් එකලාව ම සිත්කලු වෙනෙහි වාසය කෙළෙමි.
4638. ගණසංසර්ගයෙහි බිය දක්නා සුලු වූ මාගේ ස්වකීය කාය විවේකය චිත්තයාගේ විවේකයට මහත් හේතු වූයේ වී.
4639. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.