43. සකිංසම්මජ්ජක වර්‍ගය
421. සකිංසම්මජ්ජක ස්ථවිරාවදානය
4462. විපස්සී බුදුරජුන්ගේ උතුම් වූ පාටලී (=පළොල්) බෝධි වෘක්‍ෂරාජයා දැක එහි සිත පැහැද වීමි.
4463. එකෙණෙහි මම මුස්න ගෙණ බෝ (මළුව) හැමැද්දෙමි. හැමැද ඒ පාටලී බෝධියට වැන්දෙමි.
4464. මම එහි සිත පහදවා හිසෙහි ඇඳිලි බැඳ ඒ බෝධියට (ගෞරවයෙන්) නැමුනෙම් (ඉවත්ව) ගියෙමි.
4465. (මම) උතුම් බෝධිය සිහිකෙරෙමින් අඩිපාරකින් යමි. (එහි දී) මහත් බල ඇති ඝෝර රූප වූ පිඹුරෙක් මා පෙළී ය.
4466. මරණාසන්නයෙහි මා විසින් කරණ ලද (බෝධිපූජා) කර්‍මය විපාකයෙන් මා සතුටු කරවී ය. (පිඹුරා) මාගේ ශරීරය ගිලියි. මම දෙව්ලොව සිත් අලවා වසමි.
4467. මාගේ සිත හැමකල්හි නිශ්චල ය. පිරිසිදු ය. නිර්‍මල ය. ශෝකශූලයක් හෙවත් ශෝකයෙන් ඇතිවන පීඩාවක් නො දනිමි. මාගේ චිත්තසන්තාපයක් ද නො දනිමි.
4468. කුෂ්ට ය, ගණ්ඩ (=ගෙඩි) ය, කිලාස (=කැසිලි) ය. අපස්මාර (=මීමැස්මොර) ය, විතච්ඡිකා (සම ගැල්වී යන කුෂ්ට) ය, දද්දු (=දද) ය, කණ්ඩු (=කැසුම්) ය යන මේ රෝගයෝ මට නැත. මේ හැමදීමේ විපාක යි.
4469. ශෝකය ද, පරිදේව (=වැලපීම) ද මාගේ හෘදයෙහි (සිතෙහි) නැත. සිත භ්‍රාන්ත නො වූයේ (=තැති නො ගත්තේ) ඍජු ය. මෙය හැමදීමෙහි විපාක යි.
4470. සමාධීන්හි නො ලැගෙමි. සිත ප්‍රකට (=පැහැදිලි) ය. යම් යම් සමාධියක් කැමැත්තෙම් නම් ඒ ඒ සමාධිය මට සමෘද්ධ වේ.
4471. ඇලිය යුතු දැයෙහි නො ඇලෙමි. යලි ද්වේෂ කටයුතු දැයෙහි (ද්වේෂ නො කරමි). මුළා විය යුතු දැයෙහි මුළා නො වෙමි. මෙය හැමදීමෙහි විපාක යි.
4472. එකල්හි, මෙයින් එක් අනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හැමදීමෙහි මේ විපාක යි.
4473. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4474. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ද, අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4475. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් සකිංසම්මජ්ජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සකිංසම්මජ්ජක ස්ථවිරාවදානය පළමුවැනි යි.
422. ඒකදුස්සදායක ස්ථවිරාවදානය
4476. මම හංසවතී නගරයෙහි තෘණහාරකයෙක් - තණවෙළෙඳෙක් වීමි. තෘණ විකිණිමෙන් ජීවත් වෙමි. එයින් අඹුදරුවන් පෝෂණය කරමි.
4477. සර්‍වධර්‍මයන්ගේ පරතෙරට ගිය ලෝකනායක වූ පදුමුත්තර නම් බුදුරජ තෙම මෝහාන්‍ධකාරය නසා ලොව පහළ විය.