319. කන්‍දලිපුප්ඵිය ස්ථවිරාවදානය
2814-2815. එකල්හි (මම) සින්‍ධුනදීතීරයෙහි අනුන්ගේ මෙහෙ කිරීමෙහි යෙදුනු ගොවියෙක් වීමි. අනුන්ගෙන් ලැබෙන බතක් නොසෙවුනෙම් වීමි. සින්‍ධු ගං ඉවුර දිගේ ගමන් කරන්නා වූ මම පිපුණු නෙළුම් මලක් මෙන් සමාධියෙන් යුතුව හුන් සිදුහත් බුදුරජුන් දිටිමි.
2816. මම එකල්හි කඳලගෙඩියමල් සතක් නටුවෙන් කඩා හිරුගොත්හි වූ බුදුරජුන්ගේ හිසමත නගාලීමි.
2817. සුදුසු තන්හි හෙවත් සුදුසු අරමුණෙහි එකඟ වූ සිත් ඇති ස්වර්‍ණවර්‍ණ වූ ත්‍රිමදගලිත හස්තිරාජයකු වැනි වූ දුරාසද වූ (=ගුණයෙන් කිසිවකු විසින් ලංවිය නො හැක්කා වූ)
2818. ප්‍රඥාවත් වූ වැඩූ සැදැහැ ඈ ඉඳුරන් ඇති ඒ බුදුරජුන් වෙත එළඹ මම ඒ බුදුන් ඇඳිලි බැඳ වැන්දෙමි.
2819. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2820. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කන්‍දලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කන්‍දලිපුප්ඵිය ස්ථවිරාවදානය නවවැනි යි.
320. කුමුදමාලිය ස්ථවිරාවදානය
2821-2822. ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ වීර වූ මහර්ෂී වූ පස්මරුන් දිනූ විශිෂ්ට ජන්ම ඇති සිංහයකු වැනි වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ මහමගට පිළිපන් විපස්සී බුදුරජුන් (දිටිමි). දැක කුමුදුමල් ගෙණ (එයින්) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
2823. මෙයින් එකානූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2824. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුමුදමාලිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
ආරක්ඛ ද භෝජන ද ගතසඤ්ඤී පදුමිය
පුප්ඵාසනී සන්‍ථවික සද්දසඤ්ඤී තිරසිංක
කන්‍දලික කුමුදීදැයි ගී සත්පණසෙක් වේ.
ආරක්‍ෂාදායක වර්‍ගය දෙතිස්වනු යි.