32. ආරක්ඛදායක වර්ගය
311. ආරක්ඛදායක ස්ථවිරාවදානය
2768. ධම්මදස්සී බුදුරජුන්හට මා විසින් වැටක් කරණ ලදී. තාදී ගුණ ඇති ද්විපදෝත්තමයන් වහන්සේට මා විසින් ආරක්ෂාව ද දෙන ලදි.
2769. එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, ඒ කර්මවිශේෂය කරණකොට ගෙණ මා විසින් රහත්බව ලබන ලදි.
2770. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආරක්ඛදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
312. භෝජනදායක ස්ථවිරාවදානය
2771. මැනවින් වැඩුන තරුණ සල්ගසක් මෙන් ද උස්ව නැගුනා වූ ශෝභනකවෘක්ෂයක් මෙන් ද, අහසෙහි දේදුන්නක් මෙන් ද බුදුරජතෙම හැම කල්හි බබළයි.
2772. මහර්ෂි වූ දේවාතිදේව වූ ඒ වෙස්සභූ බුදුරජුන්හට මම පහන් සිතින් බොජුනක් දිනිමි.
2773. එය (පිළිගත්) සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් ජයගත් බුදුරජ තෙම “භවයෙහි උපදනා කල්හි ඔබහට (මෙහි) පුණ්ය ඵලය නිපදේවා” යි මට අනුමෙවෙනි බණ දෙසීය.
2774. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භොජනදානයාගේ මේ විපාක යි.
2775. මෙයින් පස්විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අමිත්තභ නම් සක්විති රජෙක් වීමි.
2776. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භෝජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
භෝජනදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
313. ගතසඤ්ඤක ස්ථවිරාවදානය
2777. ශබ්දය ඇදගන්නා බැවින් අම්බර නම් වූ වායුමාර්ගය වූ හෙයින් අනිලඤ්ජස නම් වු දෙව්ලොවට මිදුලක් බඳු හෙයින් ත්රිවිදිවාඞ්ගණ නම් වූ ගුවනෙහි වඩින්නා වූ සිදුහත් බුදුරජුන් දිටිමි. (එහෙත්) ඒ අහස්හි (උන්වහන්සේගේ) පියවරක් ද නැත.
2778. සුළඟින් සැලෙන සම්මාසම්බුදු සිවුර දැක උන්වහන්සේගේ ගමන ද දැක බුදුරජුන් කෙරෙහි එකෙණෙහි මට සතුට උපන.
2779. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් (බුදුරජුන්ගේ ගමන පිළිබඳ) සංඥාවක් ලැබීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ බුද්ධසංඥාවෙහි (=බුද්ධානුස්සතියෙහි) විපාක යි.
2780. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගතසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ගතසඤ්ඤක ස්ථවිරාවදානය තෙවැනි යි.
314. සත්තපදුමිය ස්ථවිරාවදානය
2781. මම ගං ඉවුරෙහි නේසාද නම් බමුණෙක් ව පියුම්වලින් අසපුව හැමද වෙසෙමි.
2782. වනහිසින් වඩින ලොවට ගුරු වූ රන්වන් වූ සිදුහත් බුදුරජුන් දැක මට ප්රීතිය පහළ විය.
2783. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ සම්බුදුරජුන් වෙත පෙරගමන් කොට අසපුව ද පිළිගන්වා උතුම් නෙළුඹුමලින් පිදීමි.
2784. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2785. මෙයින් එක්විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පාදපාවර නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
2786. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපදුමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සත්තපදුමිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
315. පුප්ඵාසනදායක ස්ථවිරාවදානය
2787. නුදුරෙන් වඩින්නා වූ රන්වන් වූ සියක් රැස් ඇති හිරු මෙන් (බබළන්නා වූ) පස්මරුන් දිනූ සිද්ධාර්ත්ථ බුදුරජුන් දිටිමි.
2788. උන්වහන්සේට පෙරගමන් කොට (මාගේ) අසපුවට පමුණුවා පැහැදි සිතින් මා විසින් පුෂ්පාසනයක් දෙන ලදි.
2789. එකල්හි මම හටගත් ප්රීති සිත් ඇත්තෙම් ඇඳිලි බැඳ බුදුරජුන් කෙරෙහි සිත පහදවා ඒ (ප්රසාදමය) පුණ්යකර්මය මුහුකුරුවා ලීමි.
2790. පස්මරුන් දිනූ බුදුරජුන් කෙරෙහි මා විසින් කරණ ලද යම් පින්කමක් ඇද්ද, ඒ සියලු ම කුශලය හේතු කොට ගෙණ ශාසනයෙහි පිරිසිදු (රහත්) වූවෙක් වෙමි.