320. කුමුදමාලිය ස්ථවිරාවදානය
2821-2822. ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ වීර වූ මහර්ෂී වූ පස්මරුන් දිනූ විශිෂ්ට ජන්ම ඇති සිංහයකු වැනි වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ මහමගට පිළිපන් විපස්සී බුදුරජුන් (දිටිමි). දැක කුමුදුමල් ගෙණ (එයින්) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
2823. මෙයින් එකානූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2824. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුමුදමාලිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
ආරක්ඛ ද භෝජන ද ගතසඤ්ඤී පදුමිය
පුප්ඵාසනී සන්‍ථවික සද්දසඤ්ඤී තිරසිංක
කන්‍දලික කුමුදීදැයි ගී සත්පණසෙක් වේ.
ආරක්‍ෂාදායක වර්‍ගය දෙතිස්වනු යි.