316. ආසනත්‍ථවික ස්ථවිරාවදානය
2793. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන් පිළිබඳ උත්තම නම් සෑයක් විය. එකල්හි මම ජනසඤ්චාර විරහිත (පාළු) මහවෙනෙහි මංමුළා වූයෙම් (ඒ මේ අත) ඇවිදීමි.
2794. වනයෙන් නික්ම (යන) මා විසින් ශ්‍රේෂ්ඨ (=බුද්ධ) ආසනය දක්නා ලදි. (උතුරුසළුව) සකස් කොට ඇඳිලි බැඳ ලෝකනායක වූ බුදුරජුන්හට ස්තුති කෙළෙමි.
2795. ලෝකයෙහි අසහාය නායක වූ බුදුරජුන්හට දවහල මුළුල්ලෙහි ස්තුති කොට සොම්නස් වූයෙම් සොම්නස් වූ සිතින් ම මේ වචන කීමි:
2796. “පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ලෝකජ්‍යේෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, මහාවීරයන් වහන්ස, මුබත් සර්‍වඥ වෙහු ය” කියා යි.
2797. මම බුද්ධාසනය නිමිති කිරීමෙන් සිඛී බුදුරජුන්හට ස්තුති කොට බුද්ධාසනය වැඳ උතුරුදිගට මුහුණ ලා නික්මුනෙමි.
2798. මෙයින් එක්තිස්වන කපෙහි බුදුරජුන්හට ස්තුති කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ස්තුති කිරීමෙහි මේ විපාක යි.
2799. මෙයින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අතුල්‍ය නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
2800. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආසනත්‍ථවික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආසනත්‍ථවික ස්ථවිරාවදානය සවැනි යි.
317. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය
2801. මනා දැකීම් ඇති මහාවීර වූ සිදුහත් බුදුරජතෙම අමාදහම් දෙසමින් ශ්‍රාවක සඞ්ඝයා විසින් පිරිවරණලදු ව උත්තම විහාරයෙහි වැඩ වෙසෙයි.
2802. ඒ මිහිරි බසින් මහාජනයාට සඞ්ග්‍රහ කෙරෙයි. දෙවි මිනිසුන් අතුරෙහි පැතිරී ගිය දෙසුම් හඬ ද මහත් විය.
2803. මෙසේ සිදුහත් බුදුරජුන්ගේ මහත් ශබ්දයෙහි සිත පහදවා ලෝකනායක වූ බුදුරජුන් වැන්දෙමි.
2804. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (බුදුරජුන්ගේ මිහිරි හඬෙහි) යම් ශබ්දසංඥාවක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි මේ විපාක යි.
2805. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සද්දසඤ්ඤක ස්ථවිරාවදානය සත්වැනි යි.
318. තිරංසිය ස්ථවිරාවදානය
2806. ශ්‍රේෂ්ඨජන්ම ඇති කේශරසිංහයකු වැනි වූ ද, පර්‍වතයෙහි (දිලියෙන) ගිනිකඳක් වැනි වූ ද, සියලු දිගුන් බබුළුවන්නා වූ කඳු අතුරෙහි (වැඩහුන්) සිදුහත් බුදුරජුන් (දිටිමි.)
2807. බුද්ධාලොකය ද, සූර්‍ය්‍යාලෝකය ද එසේ ම චන්‍ද්‍රාලෝකය ද, දැක මට ප්‍රීතිය පහළ විය.
2808. මේ තුන් එළිය දැක අඳුන් දිවිසම එකස් කොට ශ්‍රාවකොත්තම වූ ලෝකනායක වූ බුදුරජුන්හට ස්තුති කෙළෙම්.
2809. ලොව්හි ලොවඳුරු දුරු කරන්නා වූ එළිය පතුරුවන්නෝ තිදෙනෙක් වෙති: චන්‍ද්‍රයා ද සූර්‍ය්‍යයා ද ලෝකනායක වූ බුදුරජ ද යන මේ තිදෙනා යි.
2810. මා විසින් (මෙසේ) උපමා දක්වා මහාමුනි වූ බුදුරජ පසසන ලදී. බුදුරජුන්ගේ ගුණ ප්‍රකාශ කොට කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
2811. මෙයින් සිවුඅනූවන කපෙහි යම් බුදුගුණ වැණුමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදු ගුණ පැවසීමෙහි මේ විපාක යි.
2812. මෙයින් එක්සැටවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඤාණධර නම් සක්විති රජෙක් වීමි.
2813. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිරංසිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිරංසිය ස්ථවිරාවදානය අටවැනි යි.