317. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය
2801. මනා දැකීම් ඇති මහාවීර වූ සිදුහත් බුදුරජතෙම අමාදහම් දෙසමින් ශ්රාවක සඞ්ඝයා විසින් පිරිවරණලදු ව උත්තම විහාරයෙහි වැඩ වෙසෙයි.
2802. ඒ මිහිරි බසින් මහාජනයාට සඞ්ග්රහ කෙරෙයි. දෙවි මිනිසුන් අතුරෙහි පැතිරී ගිය දෙසුම් හඬ ද මහත් විය.
2803. මෙසේ සිදුහත් බුදුරජුන්ගේ මහත් ශබ්දයෙහි සිත පහදවා ලෝකනායක වූ බුදුරජුන් වැන්දෙමි.
2804. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (බුදුරජුන්ගේ මිහිරි හඬෙහි) යම් ශබ්දසංඥාවක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි මේ විපාක යි.
2805. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සද්දසඤ්ඤක ස්ථවිරාවදානය සත්වැනි යි.
318. තිරංසිය ස්ථවිරාවදානය
2806. ශ්රේෂ්ඨජන්ම ඇති කේශරසිංහයකු වැනි වූ ද, පර්වතයෙහි (දිලියෙන) ගිනිකඳක් වැනි වූ ද, සියලු දිගුන් බබුළුවන්නා වූ කඳු අතුරෙහි (වැඩහුන්) සිදුහත් බුදුරජුන් (දිටිමි.)
2807. බුද්ධාලොකය ද, සූර්ය්යාලෝකය ද එසේ ම චන්ද්රාලෝකය ද, දැක මට ප්රීතිය පහළ විය.
2808. මේ තුන් එළිය දැක අඳුන් දිවිසම එකස් කොට ශ්රාවකොත්තම වූ ලෝකනායක වූ බුදුරජුන්හට ස්තුති කෙළෙම්.
2809. ලොව්හි ලොවඳුරු දුරු කරන්නා වූ එළිය පතුරුවන්නෝ තිදෙනෙක් වෙති: චන්ද්රයා ද සූර්ය්යයා ද ලෝකනායක වූ බුදුරජ ද යන මේ තිදෙනා යි.
2810. මා විසින් (මෙසේ) උපමා දක්වා මහාමුනි වූ බුදුරජ පසසන ලදී. බුදුරජුන්ගේ ගුණ ප්රකාශ කොට කල්පයක් මුළුල්ලෙහි ස්වර්ගයෙහි සතුටු වීමි.
2811. මෙයින් සිවුඅනූවන කපෙහි යම් බුදුගුණ වැණුමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදු ගුණ පැවසීමෙහි මේ විපාක යි.
2812. මෙයින් එක්සැටවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඤාණධර නම් සක්විති රජෙක් වීමි.
2813. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිරංසිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිරංසිය ස්ථවිරාවදානය අටවැනි යි.
319. කන්දලිපුප්ඵිය ස්ථවිරාවදානය
2814-2815. එකල්හි (මම) සින්ධුනදීතීරයෙහි අනුන්ගේ මෙහෙ කිරීමෙහි යෙදුනු ගොවියෙක් වීමි. අනුන්ගෙන් ලැබෙන බතක් නොසෙවුනෙම් වීමි. සින්ධු ගං ඉවුර දිගේ ගමන් කරන්නා වූ මම පිපුණු නෙළුම් මලක් මෙන් සමාධියෙන් යුතුව හුන් සිදුහත් බුදුරජුන් දිටිමි.
2816. මම එකල්හි කඳලගෙඩියමල් සතක් නටුවෙන් කඩා හිරුගොත්හි වූ බුදුරජුන්ගේ හිසමත නගාලීමි.
2817. සුදුසු තන්හි හෙවත් සුදුසු අරමුණෙහි එකඟ වූ සිත් ඇති ස්වර්ණවර්ණ වූ ත්රිමදගලිත හස්තිරාජයකු වැනි වූ දුරාසද වූ (=ගුණයෙන් කිසිවකු විසින් ලංවිය නො හැක්කා වූ)
2818. ප්රඥාවත් වූ වැඩූ සැදැහැ ඈ ඉඳුරන් ඇති ඒ බුදුරජුන් වෙත එළඹ මම ඒ බුදුන් ඇඳිලි බැඳ වැන්දෙමි.
2819. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2820. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කන්දලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කන්දලිපුප්ඵිය ස්ථවිරාවදානය නවවැනි යි.
320. කුමුදමාලිය ස්ථවිරාවදානය
2821-2822. ශ්රේෂ්ඨ වූ උතුම් වූ වීර වූ මහර්ෂී වූ පස්මරුන් දිනූ විශිෂ්ට ජන්ම ඇති සිංහයකු වැනි වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ මහමගට පිළිපන් විපස්සී බුදුරජුන් (දිටිමි). දැක කුමුදුමල් ගෙණ (එයින්) බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
2823. මෙයින් එකානූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2824. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුමුදමාලිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
ආරක්ඛ ද භෝජන ද ගතසඤ්ඤී පදුමිය
පුප්ඵාසනී සන්ථවික සද්දසඤ්ඤී තිරසිංක
කන්දලික කුමුදීදැයි ගී සත්පණසෙක් වේ.
පුප්ඵාසනී සන්ථවික සද්දසඤ්ඤී තිරසිංක
කන්දලික කුමුදීදැයි ගී සත්පණසෙක් වේ.
ආරක්ෂාදායක වර්ගය දෙතිස්වනු යි.