315. පුප්ඵාසනදායක ස්ථවිරාවදානය
2787. නුදුරෙන් වඩින්නා වූ රන්වන් වූ සියක් රැස් ඇති හිරු මෙන් (බබළන්නා වූ) පස්මරුන් දිනූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් දිටිමි.
2788. උන්වහන්සේට පෙරගමන් කොට (මාගේ) අසපුවට පමුණුවා පැහැදි සිතින් මා විසින් පුෂ්පාසනයක් දෙන ලදි.
2789. එකල්හි මම හටගත් ප්‍රීති සිත් ඇත්තෙම් ඇඳිලි බැඳ බුදුරජුන් කෙරෙහි සිත පහදවා ඒ (ප්‍රසාදමය) පුණ්‍යකර්‍මය මුහුකුරුවා ලීමි.
2790. පස්මරුන් දිනූ බුදුරජුන් කෙරෙහි මා විසින් කරණ ලද යම් පින්කමක් ඇද්ද, ඒ සියලු ම කුශලය හේතු කොට ගෙණ ශාසනයෙහි පිරිසිදු (රහත්) වූවෙක් වෙමි.
2791. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (යම්) පුෂ්පාසනදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පාසනදානයාගේ මේ විපාක යි.
2792. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුෂ්පාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුෂ්පාසනදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
316. ආසනත්‍ථවික ස්ථවිරාවදානය
2793. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන් පිළිබඳ උත්තම නම් සෑයක් විය. එකල්හි මම ජනසඤ්චාර විරහිත (පාළු) මහවෙනෙහි මංමුළා වූයෙම් (ඒ මේ අත) ඇවිදීමි.
2794. වනයෙන් නික්ම (යන) මා විසින් ශ්‍රේෂ්ඨ (=බුද්ධ) ආසනය දක්නා ලදි. (උතුරුසළුව) සකස් කොට ඇඳිලි බැඳ ලෝකනායක වූ බුදුරජුන්හට ස්තුති කෙළෙමි.
2795. ලෝකයෙහි අසහාය නායක වූ බුදුරජුන්හට දවහල මුළුල්ලෙහි ස්තුති කොට සොම්නස් වූයෙම් සොම්නස් වූ සිතින් ම මේ වචන කීමි:
2796. “පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ලෝකජ්‍යේෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, මහාවීරයන් වහන්ස, මුබත් සර්‍වඥ වෙහු ය” කියා යි.
2797. මම බුද්ධාසනය නිමිති කිරීමෙන් සිඛී බුදුරජුන්හට ස්තුති කොට බුද්ධාසනය වැඳ උතුරුදිගට මුහුණ ලා නික්මුනෙමි.
2798. මෙයින් එක්තිස්වන කපෙහි බුදුරජුන්හට ස්තුති කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ස්තුති කිරීමෙහි මේ විපාක යි.
2799. මෙයින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අතුල්‍ය නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
2800. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආසනත්‍ථවික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආසනත්‍ථවික ස්ථවිරාවදානය සවැනි යි.