308. අනුලේපදායක ස්ථවිරාවදානය
2755. මම අත්‍ථදස්සී බුදුරජුන්ගේ ශ්‍රාවකයකු දිටිමි. සීමාවක නවකම් කරද්දී මම එතැනට එළඹියෙමි.
2756. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍ර සඞ්ඛ්‍යාත සඞ්ඝයා කෙරෙහි පැහැදි සිතින් නවකම් නිමි කල්හි මම එහි සුණු ආලේප කෙළෙමි.
2757. මෙයින් එක්දහස් අටසිය කපෙහි වූ එකල්හි යම් (සුධාලේපන) කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අනුලේප දානයාගේ මේ විපාක යි.
2758. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුලේපදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අනුලේපදායක ස්ථවිරාවදානය අටවැනි යි.
309. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
2759-2760. සියක් රැස් ඇති රන්වන් රැසින් යුත් උදාවන හිරු වැනි වනයට පිවිසි ලෝකජ්‍යේෂ්ඨ වු නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් සිහිනෙන් දිටිමි. මම එහි (=බුද්ධාලම්බනයෙහි) සිත පහදවා සුගතියෙහි උපනිමි.
2761. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි බුද්ධාරම්මණයක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි (=බුද්ධාලම්බන ප්‍රීතියෙහි) මේ විපාක යි.
2762. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය නවවැනි යි.
310. පබභාරදායක ස්ථවිරාවදානය
2763. මා විසින් සිදුහත් බුදුරජුන්හට ගල්පාතෙක් පිරිසිදු කරණ ලදී. තාදී ගුණ ඇති බුදුරජුන්ගේ පරිභොගය පිණිස (පැන්) කළයක් ද එළවා තැබීමි.
2764-2765. මහාමුනි වූ පියදස්සී බුදුරජ තෙමේ මට ඒ කරුණ මෙසේ ප්‍රකාශ කළේය. (කෙසේ ද යත්?) “දහසක් කඬ (බෙදුම්) ඇති ගෝලාකාර වූ සියයක් මුදුන් ඇති ධජයන්ගෙන් යුත් වූ කොළවන් වූ ඒ මහාප්‍රාසාදය ද අපමණ වූ රුවන් ද නිපදින්නේ ය” කියා යි. (මෙසේ) මම පබ්භාර (=ගල්තලු) දානය දී කල්පයක් ස්වර්‍ගයෙහි සුව වින්දෙමි.
2766. මෙයින් දෙතිස්වන කපෙහි මහත් බල ඇති සත්රුවනින් යුත් සුසුද්ධ නම් සක්විති රජෙකිම් වීමි.
2767. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පබ්භාරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පබ්භාරදායක ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
කේසරගන්‍ධ ආනන්‍ද ධම්මසඤ්ඤී ඵලද
පාසාදාරාමදායී ලේපක බුද්ධසඤ්ඤක
පබ්භාරැදැයි දසවත් එක්පණස් ගයිනි බැඳියේ.
පදුමකේසරිය වර්‍ගය එක්තිස් වනු යි.