31. පදුමකේසර වර්‍ගය
301. පදුමකේසරිය ස්ථවිරාවදානය
2717. මම පෙර පසේබුදුවරුන් වහන්සේ මැද මාතඞ්ග හස්ති කුලයෙහි උපන් ඇතෙක් වීමි. පසේබුදුවරුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් පියුම් කෙසුරු විසිර වීමි.
2718. පිඹ හළ රාග ඇති තාදී ගුණ යුත් (=අටලෝ දහමින් නො සැලෙන) ඒ පසේබුදුවරුන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
2719. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි පියුම් කෙසුරු විසිරවීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2720. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමකේසරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පදුමකේසරිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
302. සබ්බගන්‍ධිය ස්ථවිරාවදානය
2721. විපස්සී බුදුරජුන්හට මා විසින් සුවඳ මල් දෙන ලදී. (=එසේ ම කායවඞ්කාදියෙන් තොර බැවින්) ඍජු වූ උන්වහන්සේට උතුම් කෝසෙය්‍ය වස්ත්‍රයක් (හැම සුවඳ ගන්වා) දිනිමි.
2722. මෙයින් එක් අනූවන කපෙහි වූ ඒ අතීතයෙහි යම් ගන්‍ධදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගන්‍ධදානයෙහි මේ විපාක යි.
2723. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුචෙල නම් සක්විති රජෙකිම් වීමි.
2724. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සබ්බගන්‍ධිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සබ්බගන්‍ධිය ස්ථවිරාවදානය දෙවැනි යි.
303. පරමන්නදායක ස්ථවිරාවදානය
2725. කිණිහිරි රුකක් මෙන් ද උදාවන හිරු මෙන් ද බබලන ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
2726. මම ඇඳිලි බැඳ (ඒ බුදුරජුන්) සිය ගෙදොරට පමුණුවා සම්බුදුරජුන්හට වරබොජුන දිනිමි.
2727. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි උතුම් ආහාරදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උතුම් ආහාරදානයාගේ මේ විපාක යි.
2728. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පරමන්නදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පරමන්නදායක ස්ථවිරාවදානය තෙවැනි යි.
304. ධම්මසඤ්ඤක ස්ථවිරාවදානය
2729. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සම්බුදුරජුන් බෝරුක්මුල්හි සිටියදී ම (නොහොත් බුදුරජුන් බෝරුක්මුල සිටින කල්හි) මෙන් සිතා (සිදුකරණ) විපස්සී බුදුරජුන් පිළිබඳ මහාබෝධි පූජාවක් විය.
2730. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද්දාහු අභීත වචනයෙන් චතුස්සත්‍යය වදාරණ සේකි.
2731. විසුළ කෙලෙස් සෙවෙනි ඇති ඒ සම්බුදුරජ තෙම සැකෙවින් ද විතර විසින් ද (දහම්) දෙසමින් මහාජනයා නිවණට පැමිණ වීය.
2732. මම ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ තාදි ගුණ ඇති උන්වහන්සේගේ ධර්‍මය අසා (එම) ශාස්තෲන් වහන්සේගේ පා වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
2733. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ධර්‍මයක් ඇසූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධර්‍මසංඥායෙහි මේ විපාක යි.
2734. මෙහින් තෙතිස්වනු කපෙහි මහත් බල ඇති පෘථිවීශ්වර වූ සුතවා නම් සක්විති රජෙකිම් වීමි.
2735. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ධම්මසඤ්ඤක ස්ථවිරාවදානය සිව්වැනි යි.
305. ඵලදායක ස්ථවිරාවදානය
2736. එකල්හි භාගීරථි නදීතීරයෙහි අසපුක් විය. මම පලතුරු ගත් අත් ඇත්තෙම් බලාපොරොත්තු සහිත වූයෙම් ඒ අසපුවට ගියෙමි.
2737. එහි දී රන්වන් රස් ඇති (උදාවන හිරු මෙන් බබලන්නා) වූ විපස්සී බුදුරජුන් දිටිමි. මා ලඟ යම් ඵල වර්‍ගයක් වී ද ඒ සියලු ඵල මම ඒ බුදුරුන්හට දිනිමි.