309. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
2759-2760. සියක් රැස් ඇති රන්වන් රැසින් යුත් උදාවන හිරු වැනි වනයට පිවිසි ලෝකජ්‍යේෂ්ඨ වු නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් සිහිනෙන් දිටිමි. මම එහි (=බුද්ධාලම්බනයෙහි) සිත පහදවා සුගතියෙහි උපනිමි.
2761. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි බුද්ධාරම්මණයක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි (=බුද්ධාලම්බන ප්‍රීතියෙහි) මේ විපාක යි.
2762. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය නවවැනි යි.
310. පබභාරදායක ස්ථවිරාවදානය
2763. මා විසින් සිදුහත් බුදුරජුන්හට ගල්පාතෙක් පිරිසිදු කරණ ලදී. තාදී ගුණ ඇති බුදුරජුන්ගේ පරිභොගය පිණිස (පැන්) කළයක් ද එළවා තැබීමි.
2764-2765. මහාමුනි වූ පියදස්සී බුදුරජ තෙමේ මට ඒ කරුණ මෙසේ ප්‍රකාශ කළේය. (කෙසේ ද යත්?) “දහසක් කඬ (බෙදුම්) ඇති ගෝලාකාර වූ සියයක් මුදුන් ඇති ධජයන්ගෙන් යුත් වූ කොළවන් වූ ඒ මහාප්‍රාසාදය ද අපමණ වූ රුවන් ද නිපදින්නේ ය” කියා යි. (මෙසේ) මම පබ්භාර (=ගල්තලු) දානය දී කල්පයක් ස්වර්‍ගයෙහි සුව වින්දෙමි.
2766. මෙයින් දෙතිස්වන කපෙහි මහත් බල ඇති සත්රුවනින් යුත් සුසුද්ධ නම් සක්විති රජෙකිම් වීමි.
2767. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පබ්භාරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පබ්භාරදායක ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
කේසරගන්‍ධ ආනන්‍ද ධම්මසඤ්ඤී ඵලද
පාසාදාරාමදායී ලේපක බුද්ධසඤ්ඤක
පබ්භාරැදැයි දසවත් එක්පණස් ගයිනි බැඳියේ.
පදුමකේසරිය වර්‍ගය එක්තිස් වනු යි.
32. ආරක්ඛදායක වර්‍ගය
311. ආරක්ඛදායක ස්ථවිරාවදානය
2768. ධම්මදස්සී බුදුරජුන්හට මා විසින් වැටක් කරණ ලදී. තාදී ගුණ ඇති ද්විපදෝත්තමයන් වහන්සේට මා විසින් ආරක්‍ෂාව ද දෙන ලදි.
2769. එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ කර්‍මවිශේෂය කරණකොට ගෙණ මා විසින් රහත්බව ලබන ලදි.
2770. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආරක්ඛදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
312. භෝජනදායක ස්ථවිරාවදානය
2771. මැනවින් වැඩුන තරුණ සල්ගසක් මෙන් ද උස්ව නැගුනා වූ ශෝභනකවෘක්‍ෂයක් මෙන් ද, අහසෙහි දේදුන්නක් මෙන් ද බුදුරජතෙම හැම කල්හි බබළයි.
2772. මහර්ෂි වූ දේවාතිදේව වූ ඒ වෙස්සභූ බුදුරජුන්හට මම පහන් සිතින් බොජුනක් දිනිමි.
2773. එය (පිළිගත්) සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් ජයගත් බුදුරජ තෙම “භවයෙහි උපදනා කල්හි ඔබහට (මෙහි) පුණ්‍ය ඵලය නිපදේවා” යි මට අනුමෙවෙනි බණ දෙසීය.
2774. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භොජනදානයාගේ මේ විපාක යි.
2775. මෙයින් පස්විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අමිත්තභ නම් සක්විති රජෙක් වීමි.
2776. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භෝජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
භෝජනදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
313. ගතසඤ්ඤක ස්ථවිරාවදානය
2777. ශබ්දය ඇදගන්නා බැවින් අම්බර නම් වූ වායුමාර්‍ගය වූ හෙයින් අනිලඤ්ජස නම් වු දෙව්ලොවට මිදුලක් බඳු හෙයින් ත්‍රිවිදිවාඞ්ගණ නම් වූ ගුවනෙහි වඩින්නා වූ සිදුහත් බුදුරජුන් දිටිමි. (එහෙත්) ඒ අහස්හි (උන්වහන්සේගේ) පියවරක් ද නැත.
2778. සුළඟින් සැලෙන සම්මාසම්බුදු සිවුර දැක උන්වහන්සේගේ ගමන ද දැක බුදුරජුන් කෙරෙහි එකෙණෙහි මට සතුට උපන.