305. ඵලදායක ස්ථවිරාවදානය
2736. එකල්හි භාගීරථි නදීතීරයෙහි අසපුක් විය. මම පලතුරු ගත් අත් ඇත්තෙම් බලාපොරොත්තු සහිත වූයෙම් ඒ අසපුවට ගියෙමි.
2737. එහි දී රන්වන් රස් ඇති (උදාවන හිරු මෙන් බබලන්නා) වූ විපස්සී බුදුරජුන් දිටිමි. මා ලඟ යම් ඵල වර්‍ගයක් වී ද ඒ සියලු ඵල මම ඒ බුදුරුන්හට දිනිමි.
2738. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පලතුරු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
2739. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඵලදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
306. සම්පසාදක ස්ථවිරාවදානය
2740. බුද්ධවීරයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ සියලු ස්කන්‍ධ ධාතු ආයතනයන්ගේ මිදුනේ වෙහි ය. මම දුකට පැමිණියෙම් වෙමි. ඒ මට පිහිට වනු මැනවි.
2741. ලෝකයෙහි අනුපම පුද්ගල වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජ තෙමේ ඔහට මෙසේ වදාළේ ය. සඞ්ඝ තෙමේ මහසයුර මෙන් ගැඹුරු ගුණ ඇත්තේ ය. අපමණ ගුණ ඇත්තේ ය. අනුත්තර වූ ගුණ ඇත්තේ ය.
2742. අනන්ත විපාක දෙන්නා වූ (කෙලෙස්) රජස් රහිත (පුණ්‍ය) ක්‍ෂේත්‍රය වූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවනු මැනව. එහි කුසල් නැමැති මනා බිජුවට ද රෝපණය කරණු මැනව (කියායි.)
2743. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සර්‍වඥ තෙමේ මෙය වදාරා මට මෙසේ අනුශාසනා කොට අහසට නැංගේ ය.
2744. නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන් වැඩි නොබෝ වෙලාවකින් මම මරණයට පත්වූයෙම් තුසිතයෙහි උපනිමි.
2745. එකල්හි මම (කෙලෙස්) රජස් විරහිත අනන්ත ඵලදායක වූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
2746. මෙහින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (සඞ්ඝයා කෙරෙහි) යම් ප්‍රසාදයක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (සඞ්ඝයා කෙරෙහි) පැහැදීමෙහි මේ විපාක යි.
2747. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සම්පසාදක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සම්පසාදක ස්ථවිරාවදානය සවැනි යි.