306. සම්පසාදක ස්ථවිරාවදානය
2740. බුද්ධවීරයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ සියලු ස්කන්‍ධ ධාතු ආයතනයන්ගේ මිදුනේ වෙහි ය. මම දුකට පැමිණියෙම් වෙමි. ඒ මට පිහිට වනු මැනවි.
2741. ලෝකයෙහි අනුපම පුද්ගල වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජ තෙමේ ඔහට මෙසේ වදාළේ ය. සඞ්ඝ තෙමේ මහසයුර මෙන් ගැඹුරු ගුණ ඇත්තේ ය. අපමණ ගුණ ඇත්තේ ය. අනුත්තර වූ ගුණ ඇත්තේ ය.
2742. අනන්ත විපාක දෙන්නා වූ (කෙලෙස්) රජස් රහිත (පුණ්‍ය) ක්‍ෂේත්‍රය වූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවනු මැනව. එහි කුසල් නැමැති මනා බිජුවට ද රෝපණය කරණු මැනව (කියායි.)
2743. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සර්‍වඥ තෙමේ මෙය වදාරා මට මෙසේ අනුශාසනා කොට අහසට නැංගේ ය.
2744. නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන් වැඩි නොබෝ වෙලාවකින් මම මරණයට පත්වූයෙම් තුසිතයෙහි උපනිමි.
2745. එකල්හි මම (කෙලෙස්) රජස් විරහිත අනන්ත ඵලදායක වූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
2746. මෙහින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (සඞ්ඝයා කෙරෙහි) යම් ප්‍රසාදයක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (සඞ්ඝයා කෙරෙහි) පැහැදීමෙහි මේ විපාක යි.
2747. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සම්පසාදක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සම්පසාදක ස්ථවිරාවදානය සවැනි යි.
307. ආරාමදායක ස්ථවිරාවදානය
2748. මා විසින් සිදුහත් බුදුරජුන්හට ආරාමයක් රෝපණය කරණ ලදී. ගණසා සෙවනලු රුක්හි පක්‍ෂීන් (කැදලිතුළට වී) සන්සුන් වන (සවස්) කල්හි.
2749. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ (කෙලෙස්) රජස් විරහිත බුදුරජුන් දිටිමි. දැක ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන්හට අරම පිළිගැන්වීමි.
2750. මම සතුටු වූයෙම් සතුටු සිතින් ම ගෙඩි ද මල් ද (උන්වහන්සේට) පිදීමි. ඉක්බිති හටගත් ප්‍රසාද ඇත්තෙම් ම එම වන (අරම) පිරිනැමීමි.
2751. පැහැදි සිතින් බුදුරජුන්හට යම් ඒ ආරාමදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) භවයෙහි උපදින කල්හි මට ඵලවර්‍ග නොහොත් කුශල විපාකය උපදී.
2752. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් ආරාමදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ආරාමදානයාගේ මේ විපාක යි.
2753. මෙයින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මුදුසීතල නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
2754. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරාමදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආරාමදායක ස්ථවිරාවදානය සත්වැන්න යි.
308. අනුලේපදායක ස්ථවිරාවදානය
2755. මම අත්‍ථදස්සී බුදුරජුන්ගේ ශ්‍රාවකයකු දිටිමි. සීමාවක නවකම් කරද්දී මම එතැනට එළඹියෙමි.
2756. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍ර සඞ්ඛ්‍යාත සඞ්ඝයා කෙරෙහි පැහැදි සිතින් නවකම් නිමි කල්හි මම එහි සුණු ආලේප කෙළෙමි.
2757. මෙයින් එක්දහස් අටසිය කපෙහි වූ එකල්හි යම් (සුධාලේපන) කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අනුලේප දානයාගේ මේ විපාක යි.
2758. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුලේපදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අනුලේපදායක ස්ථවිරාවදානය අටවැනි යි.