299. අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය
2710. එකල්හි නමින් රෝමස නම් වූ මම දානව යයි ප්‍රකට වූයෙම් වීමි. ඒ මා විසින් විපස්සී බුදුරජුන්හට අඹකැනක් දෙන ලදි.
2711. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් අඹ දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඹදනෙහි මේ විපාකය යි.
2712. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බපිණ්ඩිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය නවවැනි යි.
300. අනුසංසාවක ස්ථවිරාවදානය
2713. මම පිඬු පිණිස හැසිරෙන්නා වූ විපස්සී බුදුරජුන් දිටිමි. ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති (ඒ බුදුරජුන්හට) සැන්දක් පමණ වූ භික්‍ෂාව දිනිමි.
2714. මම එකල්හි පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වැන්දෙමි. උත්තමාර්‍ත්‍ථය වූ නිවණට පැමිණීම පිණිස බුදුරජුන් පැසසීමි.
2715. මෙයින් එක්අනූවන කපෙහි මම (බුදුරජුන්) පැසසීමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැසසීමෙහි මේ විපාකය යි.
2716. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුසංසාවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අනුසංසාවක ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
චිතක පාරිච්ඡත්ත සද්ද ගොසීසසන්‍ථර
පද පදෙස් සරණ ද අම්බ සහ සංසාවක ද
සත්සාළිස් ගයෙක් ගැණිනී ගණන් දතුවන්
චිතකපූජක වර්‍ගය තිස්වනු යි.
යලි වර්‍ග උද්දානය:
කණිකාර හත්‍ථිද්ද ආලම්බනු දකාසන,
තුවර ථොමක සහ උක්ඛේප සීසූපධාන ද.
පණ්ණද චිතකපූජිදැයි සැම ලෙසින් ඇති මෙහි ගී,
සතරෙක් ද සියයක් එක්පණසෙක් ද යලි එහි,
පස්විසි සියක් හා දෙසැත්තෑවකි උතුරා,
අපදාන තෙසියක් මෙහි මෙතෙක් ගයින් කියන ලදී.
තෙවෙනි සියය නිමියේ ය.