30. චිතකපූජක වර්‍ගය
291. චිතකපූජක ස්ථවිරාවදානය
2671. එකල්හි මම අජිත නම් බමුණෙකිම් වීමි. පූජාවක් කරණු කැමැත්තෙම් නොයෙක් මල් රැස් කෙළෙමි.
2672. සිඛී බුදුරජානන් වහන්සේගේ සෑය දැක මම ඒ සියලු මල් ගෙණවුත් එයින් සෑය පිදීමි.
2673. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2674. මෙයින් සත්විසිවන කපෙහි මනුජාධිපති වූ මහත් බල ඇති සුපජ්ජලිත නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
2675. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චිතකපූජක ස්ථවිරාවදානය පළමුවැනි යි.
292. පුප්ඵධාරක ස්ථවිරාවදානය
2676. (මම) වැහැරි සිවුරු දරණ, එකස් කොට හැඳගත් අඳුන් දිවි සම් ඇති, ඉපද වූ පඤ්චාභිඥා ඇති, සඳ පිරිමැදීමෙහි සමත් (=ඉදුමත්) තවුසෙකිම් වීමි.
2677. මා සමීපයට වැඩියා වූ මුළු ලොවට පහනක් බඳු වූ විපස්සී බුදුරජුන් දැක මම ඒ ශාස්තෲන් වහන්සේට පරසතු මල් (ගෙණවුත් කුඩයක් කොට) දැරීමි.
2678. මෙයින් එක්අනූවන කපෙහි යම් මල් සැතක් දැරුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පච්ඡත්‍රය (=මල්කූඩය) ක් දැරීමෙහි මේ විපාක යි.
2679. මෙයින් සත්අසූවන කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති සමන්තධාරණ නම් එක් සක්විත්තෙකිම් වීමි.
2680. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵධාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුප්ඵධාරක ස්ථවිරාවදානය දෙවනු යි.
293. ඡත්තදායක ස්ථවිරාවදානය
2681. එකල්හි මාගේ පුත්‍ර තෙමේ කසාවත් හැඳගත් පැවිද්දෙක් විය. හෙතෙම ශ්‍රාවක බෝධිය (රහත් බව) ට පැමිණියේ ලෝකයා විසින් පුදනු ලැබුවෙක් ව පිරිනිවන් පෑයේ ය.
2682. මම සිය පුතු සොයමින් පසුපසින් ගියෙමි. මම පිරිනිවන් පෑ රහතන් වහන්සේගේ සෑය වෙත පැමිණියෙමි.
2683. මම එහි ඇඳිලි බැඳගෙණ සෑය වැඳ එකල්හි ශ්වේතච්ඡත්‍රයක් ද ගෙණ (සෑයට) නැංවීමි.
2684. මෙයින් සිවුඅනූවන කපෙහි යම් ඡත්‍රපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඡත්‍රදානයාගේ මේ විපාක යි.
2685. මෙයින් පස්විසිවන කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මහාරහ නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.
2686. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඡත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඡත්තදායක ස්ථවිරාවදානය තෙවැනි යි.
294. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය
2687. හිරු උදාවන්නටත් පෙර ප්‍රනාදය මහත් විය. (මෙය) මහර්ෂී වූ බුදුරජානන් වහන්සේගේ ලොව පහළවීම යි.
2688. (ගිලන්ව ඇඳෙහි වැතිර සිටි) මම එහි ශබ්දය ඇසීමි. ඒ බුදුරජුන් නො දිටිමි. මරණය ලං වූ කල්හි ද බුද්ධ යන නාමය මෙනෙහි කෙළෙමි.
2689. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් බුද්ධ යන හැඟීමක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවගේ මේ විපාක යි.
2690. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සද්දසඤ්ඤක ස්ථවිරාවදානය සිවුවැනි යි.