300. අනුසංසාවක ස්ථවිරාවදානය
2713. මම පිඬු පිණිස හැසිරෙන්නා වූ විපස්සී බුදුරජුන් දිටිමි. ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති (ඒ බුදුරජුන්හට) සැන්දක් පමණ වූ භික්‍ෂාව දිනිමි.
2714. මම එකල්හි පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වැන්දෙමි. උත්තමාර්‍ත්‍ථය වූ නිවණට පැමිණීම පිණිස බුදුරජුන් පැසසීමි.
2715. මෙයින් එක්අනූවන කපෙහි මම (බුදුරජුන්) පැසසීමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැසසීමෙහි මේ විපාකය යි.
2716. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුසංසාවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අනුසංසාවක ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
චිතක පාරිච්ඡත්ත සද්ද ගොසීසසන්‍ථර
පද පදෙස් සරණ ද අම්බ සහ සංසාවක ද
සත්සාළිස් ගයෙක් ගැණිනී ගණන් දතුවන්
චිතකපූජක වර්‍ගය තිස්වනු යි.
යලි වර්‍ග උද්දානය:
කණිකාර හත්‍ථිද්ද ආලම්බනු දකාසන,
තුවර ථොමක සහ උක්ඛේප සීසූපධාන ද.
පණ්ණද චිතකපූජිදැයි සැම ලෙසින් ඇති මෙහි ගී,
සතරෙක් ද සියයක් එක්පණසෙක් ද යලි එහි,
පස්විසි සියක් හා දෙසැත්තෑවකි උතුරා,
අපදාන තෙසියක් මෙහි මෙතෙක් ගයින් කියන ලදී.
තෙවෙනි සියය නිමියේ ය.
31. පදුමකේසර වර්‍ගය
301. පදුමකේසරිය ස්ථවිරාවදානය
2717. මම පෙර පසේබුදුවරුන් වහන්සේ මැද මාතඞ්ග හස්ති කුලයෙහි උපන් ඇතෙක් වීමි. පසේබුදුවරුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් පියුම් කෙසුරු විසිර වීමි.
2718. පිඹ හළ රාග ඇති තාදී ගුණ යුත් (=අටලෝ දහමින් නො සැලෙන) ඒ පසේබුදුවරුන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
2719. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි පියුම් කෙසුරු විසිරවීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2720. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමකේසරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පදුමකේසරිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
302. සබ්බගන්‍ධිය ස්ථවිරාවදානය
2721. විපස්සී බුදුරජුන්හට මා විසින් සුවඳ මල් දෙන ලදී. (=එසේ ම කායවඞ්කාදියෙන් තොර බැවින්) ඍජු වූ උන්වහන්සේට උතුම් කෝසෙය්‍ය වස්ත්‍රයක් (හැම සුවඳ ගන්වා) දිනිමි.
2722. මෙයින් එක් අනූවන කපෙහි වූ ඒ අතීතයෙහි යම් ගන්‍ධදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගන්‍ධදානයෙහි මේ විපාක යි.
2723. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුචෙල නම් සක්විති රජෙකිම් වීමි.
2724. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සබ්බගන්‍ධිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සබ්බගන්‍ධිය ස්ථවිරාවදානය දෙවැනි යි.
303. පරමන්නදායක ස්ථවිරාවදානය
2725. කිණිහිරි රුකක් මෙන් ද උදාවන හිරු මෙන් ද බබලන ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
2726. මම ඇඳිලි බැඳ (ඒ බුදුරජුන්) සිය ගෙදොරට පමුණුවා සම්බුදුරජුන්හට වරබොජුන දිනිමි.