289. බුද්ධුපට්ඨාක ස්ථවිරාවදානය
2660-2661. මාගේ නම වෙටම්බරී ය. එකල්හි මාගේ පියතෙම මේ ලෝකාග්‍රනායක වූ බුදුවරු මට දහම් දෙසන්නාහු යයි කියා මාගේ අත ගෙණ බුදුරජුන් වෙත පැමිණ වීය. මම පහන් වූයෙම් සියතින් උන්වහන්සේට මැනවින් උපස්ථාන කෙළෙමි.
2662. මෙයින් එස්තිස්වන කපෙහි වූ එකල්හි බුදුවරුන්හට පරිචරණය (=වතාවත්) කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උවටැන් කිරීමෙහි මේ විපාක යි.
2663. මෙයින් තෙවිසිවන කපෙහි මහත් බල ඇති සමණුපට්ඨාක නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
2664. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධුපට්ඨාක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බුද්ධුපට්ඨාක ස්ථවිරාවදානය නවවැනි යි.
290. පුබ්බඞ්ගමිය ස්ථවිරාවදානය
2665. උත්තමාර්‍ත්‍ථය වූ නිවන් ලැබීම පිණිස අසූහාරදහසක් දෙනා (කිසිදු වස්තුවක් නො මැති බැවින්) අකිඤ්චක වූ පැවිද්දෝ වූහ. මම ඔවුනතුරෙන් පුරෝගාමියා වීමි.
2666. පැහැදුනු නො කැලඹුනු මොවුහු රාග සහිතයෝ ය. භවෝත්පත්තිය නැති නො කොළෝය. පහන් සිත් ඇති (රහත්නට) සියතින් ම මැනවින් උවටැන් කළාහුය.
2667. ක්‍ෂය කළ ආශ්‍රව ඇති, දුරු කළ කෙලෙස් දොස් ඇති, රහත් බවට පත්, සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ (උන්වහන්සේ) හැමදෙන (අප කෙරෙහි) මෙත් සිත පැතිර වූහ.
2668. ඒ සියලු සම්බුදුවරයන් වහන්සේට උවටැන් කොට එළඹ සිටි සිහි ඇතිව මරණයට පැමිණියමෝ දේවත්‍වයට ද ගියෙමු.
2669. මෙයින් සිවුඅනූවන කපෙහි යම් සීලයක් රැකියෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සංයමයාගේ මේ විපාක යි.
2670. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුබ්බඞ්ගමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුබ්බඞ්ගමිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
පණ්ණ ඵල පච්චුග්ගමිය - ඒකපුප්ඵි මාඝව
උපට්ඨාන අපදාන - පබ්බජ්ජා බුද්ධුපට්ඨාක
පුබ්බඞ්ගම ද දසවත් - අටසාළිස් ගයෙක් වේ.
පර්‍ණදායක වර්‍ගය එකුන්තිස්වනු යි.