290. පුබ්බඞ්ගමිය ස්ථවිරාවදානය
2665. උත්තමාර්‍ත්‍ථය වූ නිවන් ලැබීම පිණිස අසූහාරදහසක් දෙනා (කිසිදු වස්තුවක් නො මැති බැවින්) අකිඤ්චක වූ පැවිද්දෝ වූහ. මම ඔවුනතුරෙන් පුරෝගාමියා වීමි.
2666. පැහැදුනු නො කැලඹුනු මොවුහු රාග සහිතයෝ ය. භවෝත්පත්තිය නැති නො කොළෝය. පහන් සිත් ඇති (රහත්නට) සියතින් ම මැනවින් උවටැන් කළාහුය.
2667. ක්‍ෂය කළ ආශ්‍රව ඇති, දුරු කළ කෙලෙස් දොස් ඇති, රහත් බවට පත්, සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ (උන්වහන්සේ) හැමදෙන (අප කෙරෙහි) මෙත් සිත පැතිර වූහ.
2668. ඒ සියලු සම්බුදුවරයන් වහන්සේට උවටැන් කොට එළඹ සිටි සිහි ඇතිව මරණයට පැමිණියමෝ දේවත්‍වයට ද ගියෙමු.
2669. මෙයින් සිවුඅනූවන කපෙහි යම් සීලයක් රැකියෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සංයමයාගේ මේ විපාක යි.
2670. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුබ්බඞ්ගමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුබ්බඞ්ගමිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
පණ්ණ ඵල පච්චුග්ගමිය - ඒකපුප්ඵි මාඝව
උපට්ඨාන අපදාන - පබ්බජ්ජා බුද්ධුපට්ඨාක
පුබ්බඞ්ගම ද දසවත් - අටසාළිස් ගයෙක් වේ.
පර්‍ණදායක වර්‍ගය එකුන්තිස්වනු යි.
30. චිතකපූජක වර්‍ගය
291. චිතකපූජක ස්ථවිරාවදානය
2671. එකල්හි මම අජිත නම් බමුණෙකිම් වීමි. පූජාවක් කරණු කැමැත්තෙම් නොයෙක් මල් රැස් කෙළෙමි.
2672. සිඛී බුදුරජානන් වහන්සේගේ සෑය දැක මම ඒ සියලු මල් ගෙණවුත් එයින් සෑය පිදීමි.
2673. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2674. මෙයින් සත්විසිවන කපෙහි මනුජාධිපති වූ මහත් බල ඇති සුපජ්ජලිත නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
2675. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චිතකපූජක ස්ථවිරාවදානය පළමුවැනි යි.
292. පුප්ඵධාරක ස්ථවිරාවදානය
2676. (මම) වැහැරි සිවුරු දරණ, එකස් කොට හැඳගත් අඳුන් දිවි සම් ඇති, ඉපද වූ පඤ්චාභිඥා ඇති, සඳ පිරිමැදීමෙහි සමත් (=ඉදුමත්) තවුසෙකිම් වීමි.
2677. මා සමීපයට වැඩියා වූ මුළු ලොවට පහනක් බඳු වූ විපස්සී බුදුරජුන් දැක මම ඒ ශාස්තෲන් වහන්සේට පරසතු මල් (ගෙණවුත් කුඩයක් කොට) දැරීමි.
2678. මෙයින් එක්අනූවන කපෙහි යම් මල් සැතක් දැරුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පච්ඡත්‍රය (=මල්කූඩය) ක් දැරීමෙහි මේ විපාක යි.
2679. මෙයින් සත්අසූවන කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති සමන්තධාරණ නම් එක් සක්විත්තෙකිම් වීමි.
2680. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵධාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුප්ඵධාරක ස්ථවිරාවදානය දෙවනු යි.