29. පණ්ණදායක වර්ගය
281. පණ්ණදායක ස්ථවිරාවදානය
2623-2624. මම පර්ණභෝජන අනුභවයෙහි (කොළ බුදීමෙහි) යෙදුනෙම් පන්සලක හුන්නෙම් වෙමි. මුළු ලොවට වෙදකු වැනි වූ ලොව බබුළුවන්නා වූ සිද්ධාර්ත්ථ සර්වඥයන් වහන්සේ (එසේ) හුන් මා වෙත එළඹි සේක. එළඹ කොළ ඇතිරියෙහි වැඩහුන් උන්වහන්සේට (කෑම සඳහා තවන ලද) කොළයක් මා විසින් දෙන ලදි.
2625. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් (කෑමට පිළියෙල කළ) කොළයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පර්ණදානයාගේ මේ විපාක යි.
2626. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පණ්ණදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පර්ණදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
282. ඵලදායක ස්ථවිරාවදානය
2627. සිනේරු පර්වතය මෙන් ශාන්ත වූ මහමෙර මෙන් ස්ථිර වූ ඒ සිද්ධාර්ත්ථ භාග්යවත් තෙමේ සමාධියෙන් නැගිට පිඬු පිණිස මා වෙත එළඹියේ ය.
2628-2629. අරළු, නෙල්ලි, අඹ, දඹ, බුළු, ඩෙබර, බදුලු, බෙලි, බොරළු දමනු යන ගෙඩි දැයි ඒ සියල්ල මුළු ලොවට අනුකම්පා කරන්නා වූ සිදුහත් බුදුරජුන් හට පැහැදි සිතින් මා විසින් දෙන ලදි.
2630. මෙයින් සිවුඅනූවනු කපෙහි වූ එකල්හි යම් පලතුරු දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පලතුරු දනෙහි මේ විපාක යි.
2631. මෙයින් සත්පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒකජ්ඣ නම් සක්විති රජෙකිම් වීමි.
2632. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඵලදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
283. පච්චුග්ගමනිය ස්ථවිරාවදානය
2633-2634. වනයෙහි (එකලාව) හැසිරෙන්නා වූ සිංහයකු මෙන් ද ශ්රේෂ්ඨ ආජානියයකු මෙන් ද බබලන්නා වූ කුඹුක් ගසක් මෙන් ද (ක්ලේශ රෝගයෙන් පෙළෙන) සකල ලෝකයාට වෛද්යවරයකු මෙන් ද ලොව බබුළුවන්නා වූ නරශ්රේෂ්ඨ වූ (ඉදිරියට) වඩින සිදුහත් බුදුරජුන් (දැක) පැහැදි සිතින් පෙර ගමන් කෙළෙමි.
2635. මෙයින් එක්අනූවනු කපෙහි බුදුරජුන්හට පෙර ගමන් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පෙර ගමන් කිරීමෙහි මේ විපාක යි.
2636. මෙයින් සත්විසිවෙනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති සපරිවාර නම් සක්විති රජෙකිම් වීමි.
2637. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චුගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පච්චුගමනිය ස්ථවිරාවදානය තෙවැනි යි.
284. ඒකපුප්ඵිය ස්ථවිරාවදානය
2638. මම එකල්හි දකුණු දොරටුවෙහි පිසාචයෙකිම් වීමි. (එහි) දී පීතවර්ණ රස් ඇති (උදාවන) හිරු වැනි වූ කෙලෙස් රජස් නැති බුදුරජුන් දිටිමි.
2639. සර්වලෝකහිතෛෂී වූ නරශ්රේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට මා විසින් එක් මලක් පුදන ලදි.
2640. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්පදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2641. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.