206. උදකදායක ස්ථවිරාවදානය
2294. මම පැහැදුනු ඉඳුරන් ඇති කෙලෙස් කැලඹිලි නැති වළඳන්නා වූ ශ්‍රමණයන් වහන්සේ දැක ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට කළයෙන් දිය ගෙණවුත් දුනිමි.
2295. මම අද පහ වූ සැක ඇතියෙම් පිරිසිදු වූයෙම් නිර්‍මල වූයෙම් වෙමි. (ඒ හේතුවෙන්) භවයෙහි උපදනා කල්හි යහපත් විපාක ඇති වේ.
2296. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් ජලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උදකදානයාගේ මේ විපාකය යි.
2297. මෙයින් එක් සැටවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විමල නම් සක්විති රජෙක් වීමි.
2298. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උදකදායක ස්ථවිරාවදානය සවැනි යි.
207. සලලමාලිය ස්ථවිරාවදානය
2299. කිණිහිරි රුකක් මෙන් බබළමින් පර්‍වතයන් අතුරෙහි හුන් සියලු දිගුන් හෙළි කරන්නා වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් දිටිමි.
2300. එකල්හි මම දුන්න නිසැක කොට හීය යොදා (විද) නටු සහිත මලක් කඩා බුදුරජුන්හට පිදීමි.
2301. මෙයින් සිවු අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2302. මෙයින් එක් පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතින්‍ධර නම් සක්විති රජෙක් වීමි.
2303. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සලලමාලිය ස්ථවිරාවදානය සත්වැනි යි.
208. කොරණ්ඩපුප්ඵිය ස්ථවිරාවදානය
2304. සක් ලකුණෙන් බබලන තබන ලද ශ්‍රී පාද සටහන් දැක (මම ඒ) විපස්සී බුදුරජුන්ගේ පියවර සටහන් අනුව යන්නෙම්-
2305. පිපුණු කොරණ්ඩ වෘක්‍ෂයක් දැක සතුටු වූයෙම් මුලසිට ම ඇති ඒ සියලු මල් මා විසින් (බුදුරජුන්හට) පුදන ලදී. සතුටු සිතින් ම උතුම් පා වැන්දෙමි.
2306. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පියවර සටහන් පිදීමෙහි මේ විපාකය යි.
2307. සත්පණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වීතමල නම් එක් සක්විති රජෙක් වීමි.
2308. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොරණ්ඩපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කොරණ්ඩපුප්ඵිය ස්ථවිරාවදානය අටවැනි යි.