207. සලලමාලිය ස්ථවිරාවදානය
2299. කිණිහිරි රුකක් මෙන් බබළමින් පර්‍වතයන් අතුරෙහි හුන් සියලු දිගුන් හෙළි කරන්නා වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් දිටිමි.
2300. එකල්හි මම දුන්න නිසැක කොට හීය යොදා (විද) නටු සහිත මලක් කඩා බුදුරජුන්හට පිදීමි.
2301. මෙයින් සිවු අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2302. මෙයින් එක් පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතින්‍ධර නම් සක්විති රජෙක් වීමි.
2303. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සලලමාලිය ස්ථවිරාවදානය සත්වැනි යි.
208. කොරණ්ඩපුප්ඵිය ස්ථවිරාවදානය
2304. සක් ලකුණෙන් බබලන තබන ලද ශ්‍රී පාද සටහන් දැක (මම ඒ) විපස්සී බුදුරජුන්ගේ පියවර සටහන් අනුව යන්නෙම්-
2305. පිපුණු කොරණ්ඩ වෘක්‍ෂයක් දැක සතුටු වූයෙම් මුලසිට ම ඇති ඒ සියලු මල් මා විසින් (බුදුරජුන්හට) පුදන ලදී. සතුටු සිතින් ම උතුම් පා වැන්දෙමි.
2306. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පියවර සටහන් පිදීමෙහි මේ විපාකය යි.
2307. සත්පණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වීතමල නම් එක් සක්විති රජෙක් වීමි.
2308. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොරණ්ඩපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කොරණ්ඩපුප්ඵිය ස්ථවිරාවදානය අටවැනි යි.
209. ආධාරදායක ස්ථවිරාවදානය
2309. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්හට මා විසින් ආධාරකයක් (පාත්‍රාධාරයක්) පුදන ලදී. මම (ඒ හේතුවෙන්) ධනය සහිත මේ මුළු පොළොව ම දරමි.
2310. මා විසින් සියලු කෙලෙස් දවන ලදී. සියලු භවයෝ වනසන ලදහ. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය ද දරමි.
2311. මෙයින් සත්විසිවනු කපෙහි මහත් බල ඇති සමන්තචරණ නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
2312. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආධාරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආධාරදායක ස්ථවිරාවදානය නවවැනි යි.
210. වාතාතපනිවාරිය ස්ථවිරාවදානය
2313. දෙවියනට දෙවි වූ තාදී ගුණ ඇති තිස්ස බුදුරජුන්හට පැහැදුනු සිතින් එක් ඡත්‍රයක් මා විසින් පුදන ලදී.
2314. ඒ හේතුවෙන් මාගේ පව් වැළැක්කේ විය. (තමා වෙත) කුශලයන්ගේ පැමිණීම විය. අහසෙහි ඡත්‍ර දරත්. පූර්‍ව (ඡත්‍රදානමය ) කර්‍මයාගේ මේ විපාකය යි.
2315. (මා විසින්) සියලු භවයෝ නසන ලදහ. මෙය මාගේ අන්තිම භවයයි. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය ද දරමි.
2316. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් ඡත්‍රදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඡත්‍රදානයාගේ මේ විපාකය යි.
2317. මෙයින් දෙසැත්තෑවන කපෙහි ජනාධිපති වූ මහානිදාන නම් අට සක්විති රජකෙනෙක් වූහ.
2318. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වාතාතපනිවාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වාතාතපනිවාරිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
කණිකාර මිනෙලි - කිඞ්කිණි සහ තරණ ද
තිග්ගුණ්ඩිපුප්ඵි උදකද - සලලකුරණ්ඩක ද ආධාරක
ආතපවාරි යයි දස - අටසාළිස් ගයින් බැඳී.
කණිකාරපුප්ඵියවර්‍ගය එක්විසිවැනි යි.