21. කණිකාරපුප්ඵිය වර්ගය
201. කණිකාරපුප්ඵිය ස්ථවිරාවදානය
2271. මම එකල්හි පිපුණු කිණිහිරි රුකක් දැක චතුරෝඝයන් තරණය කළා වූ තාදී ගුණ ඇති තිස්ස බුදුරජානන් වහන්සේට (ඒ මල් නෙලා) පිදීමි.
2272. මෙයින් දෙඅනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2273. මෙයින් පන්තිස්වන කපෙහි සත්රුවනින් ආඪ්ය වූ මහත් බල ඇති අරුණපාණී යැ යි ප්රකට වූ සක්විති රජෙක් වීමි.
2274. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණිකාරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කණිකාරපුප්ඵිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
202. මිනෙලපුප්ඵිය ස්ථවිරාවදානය
2275. හිරුමෙන් ප්රතාපවත් වූ ස්වර්ණවර්ණ වූ මෙත් සිත් ඇති සිඛී භාග්යවත්හු සක්මනට නැගුනාහ.
2276. එ දවස් මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ශ්රේෂ්ඨඥාන ඇති බුදුරජුන්හට වැඳ මිනෙල පුෂ්පයන් ගෙණ (එම) බුදුරජුන්හට පිදීමි.
2277. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2278. එකුන්තිස්වන කපෙහි සත්රුවනින් ආඪ්ය වූ මහත්බල ඇති සුමේධයස නම් වූ සක්විති රජෙක් වීමි.
2279. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මිනෙලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මිනෙලපුප්ඵිය ස්ථවිරාවදානය දෙවැනි යි.
203. කිඞ්කිණිකපුප්ඵිය ස්ථවිරාවදානය
2280. රන් ඇගෑවක් මෙන් බබලන සර්වඥ වූ ලෝකනායක බුදුරජ තෙමේ සිසිල් දිය සහිත විලකට බැස ජලස්නානය කෙළේය.
2281. මම කිඞ්කිණික මල් ගෙණ ඔදවැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති විපස්සී බුදුරජුන්හට පිදීමි.
2282. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2283. සත්විසිවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති භීමරථ නම් සක්විති රජෙක් වීමි.
2284. ප්රතිසම්භිදාවෝ ද අෂ්ටමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිඞ්කිණිකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කිඞ්කිණිකපුප්ඵිය ස්ථවිරාවදානය තෙවැනි යි.
204. තරණිය ස්ථවිරාවදානය
2285. ද්විපදෝත්තම වූ නරශ්රේෂ්ඨ වූ භාග්යවත් අත්ථදස්සී බුදුරජානන් වහන්සේ ශ්රාවකයන් විසින් පිරිවරණ ලදසේක් ගංතෙරට එළඹි සේක.
2286. මම මුවවිට දක්වා සමව පිරුණු කපුටුවනට පවා ඉවුරෙහි සිට පැන් පානය කළ හැකි සේ දියෙන් පිරී ගිය තරණය කොට එතර යාම දුෂ්කර වූ (ඒ ගඟින්) ද්විපදෝත්තම වූ බුදුරජුන් ද භික්ෂු සඞ්ඝයා ද එතර කරවීමි.
2287. එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ගඟින්) තරණය කරවීමෙහි මේ විපාකය යි.
2288. මෙයින් එක්දහස් තෙසියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සබ්ගොගවා නම් පස් සක්විති රජකෙනෙක් වූහ.