17. උපසේන ස්ථවිරාවදානය
759. කඳුපාමුලක (= ශිලාපර්වතයෙක්හි විවෙකස්ථානයක) වැඩ හුන්නා වූ මනුෂ්යොත්තම වූ ලෝකජ්යේෂ්ඨ වූ ඒ ‘පදුමුත්තර’ බුදුරජානන් වහන්සේ වෙත මම එළඹියෙමි.
760. එකල්හි මම මැනැවින් පිපුනු කිණිහිරිමලක් දැක නටුවෙන් කඩා ගෙණ එ මලින් ඡත්රය අලඞ්කාර කොට බුදුරජානන් වහන්සේට (ඒ ඡත්රය) නැගීමි.
761. සුන්දරභෝජනසඞ්ඛ්යාත උත්තම ආහාරය වූ පිණ්ඩපාතය ද දිනිමි. එහි දී බුදුරජානන් වහන්සේ නව වැනි කොට ඇති ශ්රමණයන් අටනමක් වැළඳවීමි.
762-763. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ, අග්රපුද්ගල වූ, මහාවීර වූ (පදුමුත්තර) බුදුරජ තෙම (මෙසේ) අනුමෝදනාව කෙළේ ය: “මෙ ම ඡත්රදානය ද උතුම් ආහාරදානය ද හේතු කොට ගෙණ (ඇති වූ) එ ම චිත්තප්රසාදයෙන් (මෙතෙමේ) සම්පත් අනුභව කරන්නේ ය. සතිස් වරක් ශක්ර ව දිව්ය රාජ්යය කරන්නේ ය.
764. එක්විසිවරක් සක්විතිරජ වන්නේ ය. මහත් වූ ප්රදේශරාජ්යය කරණ (වාරගණන) සඞ්ඛ්යාපථාතික්රාන්ත ය.
765. මෙයින් කල්පලක්ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේ ය.
766. (උන්වහන්සේගේ) සසුන බබළන කල්හි මිනිසත්බවට පැමිණෙන්නේ ය. උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූයේ ධර්මයෙන් ම නිර්මිත කළාක් වැනි වූ නමින් ‘උපසේන’ නම් වූ බුද්ධශ්රාවකයෙක් වන්නේ ය”.
767. (මෙය) මාගේ අන්තිමආත්මය වන්නේ ය. සියලු භවයෝ නසන ලදහ. සේනා සහිත වූ මාරයා ජය ගෙන අන්තිම ශරීරය දරමි.
768. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් උපසේනවඞ්ගන්තපුත්තස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යී.
උපසෙනවඞ්ගන්තපුත්ත ස්ථවිරාවදානය සත්වැනි යි.
තෙවෙනි බණවර යි.
18. රට්ඨපාල ස්ථවිරාවදානය
769-770. ලෝකජ්යේෂ්ඨ වූ තාදී ගුණ ඇති ‘පදුමුත්තර’ බුදුරජානන් වහන්සේට (නගුලිස් පමණ වූ) විශාල දළ ඇති රාජාර්හ (=රජුනට සුදුසු) වූ (ඇත්කඳෙහි ඔසවන ලද) ශ්වේතච්ඡත්රයෙන් ශෝභමාන වූ හස්ත්යාලඞ්කාර සහිත වූ ඇත්ගොව්වෙකු සහිත වූ උතුම් හස්තියෙක් තෙම මා විසින් දෙන ලදී. ඒ සියල්ලෙහි වටිනා කමින් (සියල්ල විකුණා) සඞ්ඝාරාමයක් ද කරවීමි.
771. මම සූපණස්දහක් ප්රාසාදයන් ද කරවීමි. මහදනක් (පිළියෙල) කොට මහර්ෂි වූ බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි.
772. මහාවීර වූ සියල්ල තෙමේ ම දැන වදාළා වූ අග්රපුද්ගල වූ බුදුරජානන් වහන්සේ සියලු ජනයන් සතුටු කරමින් අමෘතපදය (=නිර්වාණ ධර්මය) දෙසූ සේක.
773. ‘පදුමුත්තර’ නම් වූ බුදුරජානන් වහන්සේ මාගේ ඒ පින්කම (ගැන මෙසේ) පැවසූ සේක. භික්ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් දේශනා කළසේක:
774. “මෙතෙම සිවුපණස්දහසක් ප්රාසාදයන් කරවී ය. (එහි) විපාකය කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.
775. (මොහුට) අටළොස්දහසක් කූටාගාරයෝ වන්නාහු ය. උතුම් විමනෙහි පහළ වූ ඒ (කූටාගාරයෝ) සර්වස්වර්ණමයහ.
776. (මෙතෙම) ශක්රදේවේන්ද්ර ව පණස්වරක් දිව්යරාජ්යය කරන්නේ ය. අටපණස් වරක් සක්විතිරජ වන්නේ ය.
777. මෙයින් කල්පලක්ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්රයෙන් ‘ගෞතම’ නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේ ය.
778. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් චුත ව එකෙණෙහි ආඪ්ය වූ මහත් භොග ඇති කුලයක උපදින්නේ ය.
779. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ හෙතෙම පසු ව පැවිදි ව නමින් රට්ඨපාල ය යි ප්රසිද්ධශ්රාවකයෙක් වන්නේ ය:
780. වීර්ය්යයෙහි යොදන ලද සිත් ඇත්තේ උපශාන්ත වූ උපධිරහිත වූ හෙතෙම සියලු ආශ්රවයන් ප්රහාණපරිඥාවශයෙන් දැන දුරු කොට ආශ්රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.”
781. (උත්ථානවීර්ය්යයෙන්) නැගිට අභිනිෂ්ක්රමණය කොට කෙල පිඬු මෙන් භෝගසම්පත් තොමෝ හරණා ලද්දී ය. මාගේ (ඒ) භොග සම්පත්තියෙහි ඇලීමෙක් නැත.
782. යෝගක්ෂේමසඞ්ඛ්යාත නිර්වාණයට පමුණුවන ධුරවාහකයා (=ගැල්බර උසුලනගවයා) මාගේ වීර්ය්යය යි. (මම) මේ සර්වඥශාසනයෙහි අන්තිම ශරීරය දරමි.
783. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රට්ඨපාලස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
රට්ඨපාල ස්ථවිරාවදානය අටවැනි යි.