2. සිංහාසනදායක වර්ගය
11. සිංහාසනදායක ස්ථවිරාවදානය
674-675. ලෝකනාථ වූ සිද්ධාර්ත්ථ බුදුරදුන් පිරිනිවි කල්හි ත්රිපිටක ධර්මය පැතිර ගිය කල්හි බොහෝ ජනයා විසින් මැනැවැයි දන්නාලද සසුනෙහි මම පහන් සිතැත්තෙම් තුටු වූයෙම් සිහසුනක් කෙළෙමි. (එසේ ම) මම සිහසුන කොට පාපුටුවක් ද කෙළෙමි.
676. සිහසුන තෙමෙන කල්හි මම එහි ආවරණයට ගෘහයක් ද කෙළෙමි. මම ඒ සිත පැහැදවීම හේතු කොට ගෙණ තුසිතභවනයෙහි උපනිමි.
677. එ කෙණෙහි දිගින් සූවිසියොදුන් වූ පුළුලින් තුදුස්යොදුන් වූ මැනැවින් කරණ ලද විමානයක් මට (පහළ) වී ය.
678. දිව්යකන්යාවෝ ලක්ෂයක් හැම කල්හි මා පිරිවරත්. විමානයෙහි මැනවින් නිර්මිත කළ ස්වර්ණමයපර්ය්යඞ්කයෙක් වී ය.
679. හස්තිවාහන ද අශ්වවාහන ද දිව්යවාහන ද එළඹ සිටියේ ය. කැමැති පරිදි ප්රාසාදයෝ ද සිවිකාවෝ (=දෝලා) ද පහළ වෙත්.
680. මිණිමුවා පර්ය්යඞ්කයෝ ද අන්ය වූ (රුක්) හරමුවා බොහෝ පර්ය්යඞ්කයෝ ද යන සියල්ල මට පහළ වෙත්. සිංහාසනදානයාගේ මේ විපාකය යි.
681. රුවන්මුවා වූ ද, රිදීමුවා වූ ද, පළිඟුමුවා වූ ද, විදුරුමුවා වූ ද, පාදුකා (=පාවහන්) නගිමි (=පලඳිමි). පාදපීඨ (=පාපුටු) දානයාගේ මේ විපාකය යි.
682. එකල්හි (එනම්) මෙයින් සිවුඅනූවන කපෙහි යම් කර්මයක් කෙළෙම් ද, (එම කර්මබලයෙන්) දුගතියක් නො දනිමි. මේ පුණ්යකර්මයාගේ විපාකය යි.
683. මෙයින් (පෙර) තෙසැත්තෑවැනි කපෙහි තුන්අත්බවෙක ඉන්ද්ර නම් (=සක්විති රජ) වීමි. (එසේම) මෙයින් දෙසැත්තෑවැනි කපෙහි සුමන නම් ඇති ව තෙවරක් ද,
684. මෙයින් සමසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් සතර මහදිවයිනෙහි අධිපති වරුණ නම් ඇති ව තෙවරක් ද සක්විතිරජ වීමි.
685. සිවුපිළිසිඹියාවෝ ද -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සිංහාසනදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
සිංහාසනදායකස්ථවිරාවදානය පළමුවැනි යි.
12. ඒකත්ථම්භික ස්ථවිරාවදානය
686. ‘සිද්ධාර්ත්ථ’ භාග්යවතුන් වහන්සේට මහත් වූ උපාසක සමූහයෙක් වී ය. ඔහු බුදුරජුන් සරණ ගියාහු තථාගතයන් වහන්සේ අදහත්.
687. (ඒ) සියල්ලෝ එකතු ව මන්ත්රණය කොට බුදුරජානන් වහන්සේට උපට්ඨානසාලාවක් කෙරෙත්. (ඒ සඳහා) එක් ටැඹක් නො ලබන්නාහු මහවෙනෙහි සොයත්.
688. මම ඒ උවසුසමූහයා වනයෙහි දී දැක (එ ම) සමූහයා වෙත එළඹ ඇඳිලි බැඳගෙණ උවසුසමූහයාගෙන් (මෙසේ) විචාළෙමි.
689. මා විසින් විචාරණ ලද ඒ සිල්වත් උවසුවෝ මෙසේ පැවසූහ: “අපි උපට්ඨානසාලාවක් කරණු කැමැත්තෙමු. (ඒ සඳහා) එක් ටැඹක් නො ලැබේ ය” (කියායි.)
690. එක් ටැඹ මට දෙවු. මම ශාස්තෲන් වහන්සේට දෙන්නෙමි. මම ටැඹ ගෙණ එන්නෙමි; භවත්හු (ඒ සඳහා) උත්සාහ නැත්තෝ වෙත්වා” යි (කීමි)
691. පැහැදුනා වූ සතුටු සිත් ඇති ඔහු මට ටැඹ පැවරූහ. එ ම වනයෙන් පෙරළා ගොස් ස්වකීය ගෘහය ට පැමිණියාහු ය.
692. (උවසු) සමූහයා ගිය නොබෝ වේලාවකින් මම ටැඹක් දිනිමි. එකල්හි සතුට වූ මම සතුටු සිතින් (එය) පළමු කොට ම එසවීමි.
693. එ ම චිත්තප්රසාදය හේතු කොට ගෙණ පැන නැගුනා වූ උස් වූ මහල් සියයක් ඇති මාගේ විමානයට මම (උත්පත්ති වශයෙන්) ගියෙමි.
694. එකල්හි බෙර වයද්දී මම (දෙව්පිරිස්) පිරිවරමි. (එයින්) පස්පණස්වන කපෙහි ‘යසෝධර’ නම් රජකේ වීමි.
695. එහි ද මට මහල් සියයක් ඇති උඩට නැගුනු උතුම් කුළු ගෙවලින් යුත් එක් ටැම් ඇති මනහර වූ භවනයෙක් වි ය.
696. එක්විසිවන කල්පයෙහි ‘උදේන’ නම් ක්ෂත්රියයෙක් වීමි. එහි ද මට සියයක් මහල් ඇති උස් ව පැන නැංගා වූ භවනයෙක් වී ය.
697. යම් යම් දිව්ය වූ හෝ මනුෂ්ය වූ යෝනියක උපදිම් ද, සියලු සුව අනුභව කරමි. මෙය එක් ටැඹ පිදීමේ විපාකය යි.
698. (මෙයින්) සිවු අනූවනකපෙහි එකල යම් ටැඹක් දිනිම් ද, (එහෙයින්) දුගතියක් නො දනිමි. එක් ටැඹ පිදීමේ මේ විපාකය යි.
699. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ඒකත්ථම්භික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේක් යී.
ඒකත්ථම්භික ස්ථවිරාවදානය දෙවැනි යි.
13. නන්ද ස්ථවිරාවදානය
700. ලෝකජ්යේෂ්ඨ වූ, තාදි (අටලෝදහමින් නො සැලෙන) ගුණ ඇති, සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ, මහර්ෂි වූ පදුමුත්තර භාග්යවතුන් වහන්සේට මා විසින් කොමු පිළියක් දෙන ලදී.
701. ඒ (වස්ත්රදායක වූ) මට පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ මෙසේ ප්රකාශ කළ සේක: “මේ වස්ත්රදානය කරණ කොට ගෙණ ස්වර්ණවර්ණ වන්නෙහි ය.