18. රට්ඨපාල ස්ථවිරාවදානය
769-770. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදී ගුණ ඇති ‘පදුමුත්තර’ බුදුරජානන් වහන්සේට (නගුලිස් පමණ වූ) විශාල දළ ඇති රාජාර්‍හ (=රජුනට සුදුසු) වූ (ඇත්කඳෙහි ඔසවන ලද) ශ්වේතච්ඡත්‍රයෙන් ශෝභමාන වූ හස්ත්‍යාලඞ්කාර සහිත වූ ඇත්ගොව්වෙකු සහිත වූ උතුම් හස්තියෙක් තෙම මා විසින් දෙන ලදී. ඒ සියල්ලෙහි වටිනා කමින් (සියල්ල විකුණා) සඞ්ඝාරාමයක් ද කරවීමි.
771. මම සූපණස්දහක් ප්‍රාසාදයන් ද කරවීමි. මහදනක් (පිළියෙල) කොට මහර්ෂි වූ බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි.
772. මහාවීර වූ සියල්ල තෙමේ ම දැන වදාළා වූ අග්‍රපුද්ගල වූ බුදුරජානන් වහන්සේ සියලු ජනයන් සතුටු කරමින් අමෘතපදය (=නිර්‍වාණ ධර්‍මය) දෙසූ සේක.
773. ‘පදුමුත්තර’ නම් වූ බුදුරජානන් වහන්සේ මාගේ ඒ පින්කම (ගැන මෙසේ) පැවසූ සේක. භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් දේශනා කළසේක:
774. “මෙතෙම සිවුපණස්දහසක් ප්‍රාසාදයන් කරවී ය. (එහි) විපාකය කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.
775. (මොහුට) අටළොස්දහසක් කූටාගාරයෝ වන්නාහු ය. උතුම් විමනෙහි පහළ වූ ඒ (කූටාගාරයෝ) සර්‍වස්වර්‍ණමයහ.
776. (මෙතෙම) ශක්‍රදේවේන්‍ද්‍ර ව පණස්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටපණස් වරක් සක්විතිරජ වන්නේ ය.
777. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ‘ගෞතම’ නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේ ය.
778. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් චුත ව එකෙණෙහි ආඪ්‍ය වූ මහත් භොග ඇති කුලයක උපදින්නේ ය.
779. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ හෙතෙම පසු ව පැවිදි ව නමින් රට්ඨපාල ය යි ප්‍රසිද්ධශ්‍රාවකයෙක් වන්නේ ය:
780. වීර්‍ය්‍යයෙහි යොදන ලද සිත් ඇත්තේ උපශාන්ත වූ උපධිරහිත වූ හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන දුරු කොට ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.”
781. (උත්‍ථානවීර්‍ය්‍යයෙන්) නැගිට අභිනිෂ්ක්‍රමණය කොට කෙල පිඬු මෙන් භෝගසම්පත් තොමෝ හරණා ලද්දී ය. මාගේ (ඒ) භොග සම්පත්තියෙහි ඇලීමෙක් නැත.
782. යෝගක්‍ෂේමසඞ්ඛ්‍යාත නිර්‍වාණයට පමුණුවන ධුරවාහකයා (=ගැල්බර උසුලනගවයා) මාගේ වීර්‍ය්‍යය යි. (මම) මේ සර්‍වඥශාසනයෙහි අන්තිම ශරීරය දරමි.
783. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රට්ඨපාලස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
රට්ඨපාල ස්ථවිරාවදානය අටවැනි යි.
19. ස්වපාක ස්ථවිරාවදානය
784. වනයෙහි උතුම් පර්‍වතයෙක්හි ගුහාවක් පිරිසිදු කරන්නා වූ මා වෙත සිද්ධාර්‍ත්‍ථ නම් භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේක.
785. මම එළඹ සිටියා වූ බුදුරජානන් වහන්සේ දැක තාදිගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේට ඇතිරියක් අතුරා පුෂ්පාසනයක් (=මලසුනක්) දිනිමි.
786. සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ පුෂ්පාසනයෙහි වැඩහිඳ මාගේ මතු උත්පත්තිස්ථානය ද දැන අනිත්‍යභාවය වදාළ සේක.
787. “ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යයහ. ඉපදීම හා විනාශය ස්වභාවය කොට ඇත්තාහ. ඉපදී නැති වෙත්. ඔවුන්ගේ සන්සිඳීම සැප යි.
788. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ ප්‍රාඥ වූ සර්‍වඥයන් වහන්සේ මෙය වදාරා අහසෙහි (යන) හංසරාජයකු මෙන් අහසට පැනනැංගේ ය.
789. මම ස්වකීය ලබ්ධිය හැර අනිත්‍යසංඥාව වැඩීමි. එක්දිනක් භාවනා කොට මම එයින් චුත වීමි.
790. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් (දිව්‍ය මනුෂ්‍ය සඞ්ඛ්‍යාත) ද්විවිධසම්පත් අනුභව කොට අන්තිමභවය පැමිණි කල්හි (ස්වකීය පාකය වූ බත අනුන් අනුභව නො කරණ බැවින්) ‘සපාක’ නම් සැඩොල් කුලයට උත්පත්තිවශයෙන් එළඹුනෙමි.
791. අගාර සඞ්ඛ්‍යාත ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සංඛ්‍යාත ශාසනයෙහි පැවිදි වීමි. උත්පත්තියෙන් සත්හැවිරිදි වයස් වූ මම රහත් බවට පැමිණියෙමි.
792. ඇරඹූ වීර්‍ය්‍යය ඇත්තෙම් (නිවන කෙරෙහි) මෙහෙයන ලද සිත් ඇත්තෙම් ශීලයන්හි මැනැවින් හික්මුනෙම් බුදුරජානන් වහන්සේ සතුටු කොට උපසම්පදාව ලැබීමි.
793. මෙයින් සිවුඅනූවන කපෙහි (වූ) එ ම කාලයෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (එයින්) දුගතියක් නො දනිමි. මෙය පුෂ්පදානයාගේ විපාකය යි.
794. මෙයින් සිවුඅනූවන කපෙහි (වූ) එ ම කාලයෙහි යම් අනිත්‍ය සංඥාවක් වැඩුයෙම් නම් එ ම, සංඥාව වඩන්නා වූ මාහට ආශ්‍රවක්‍ෂය ය පැමිණියේ ය.
795. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘සෝපාක’ ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් දේශනා කළ සේක් යී.
ස්වපාක ස්ථවිරා’වදානය නවවැනි යී.
20. සුමඞ්ගල ස්ථවිරාවදානය
796. යාගයක් කරණු කැමැති (දානයක් දෙනු කැමැති) මම බොජුන් පිළියෙල කරවා (ප්‍රතිග්‍රාහක වූ ශුද්ධ පැවිදි) බමුණන් සොයමින් විශාල මාළකයෙහි සිටියෙමි.
797-798. ඉක්බිති මහත් යසස් ඇති, සියලු ලෝකයා (නිවණට) පමුණුවන්නා වූ, තමා ම සියල්ල අවබෝධ කළා වූ, අග්‍රපුද්ගල වූ, ප්‍රභාසම්පන්න වූ, ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලද, සූර්‍ය්‍යයා මෙන් බබලන, වීථියට පිළිපන් පියදස්සි බුදුරජානන් වහන්සේ දුටුවෙමි.