12. ඒකත්‍ථම්භික ස්ථවිරාවදානය
686. ‘සිද්ධාර්‍ත්‍ථ’ භාග්‍යවතුන් වහන්සේට මහත් වූ උපාසක සමූහයෙක් වී ය. ඔහු බුදුරජුන් සරණ ගියාහු තථාගතයන් වහන්සේ අදහත්.
687. (ඒ) සියල්ලෝ එකතු ව මන්ත්‍රණය කොට බුදුරජානන් වහන්සේට උපට්ඨානසාලාවක් කෙරෙත්. (ඒ සඳහා) එක් ටැඹක් නො ලබන්නාහු මහවෙනෙහි සොයත්.
688. මම ඒ උවසුසමූහයා වනයෙහි දී දැක (එ ම) සමූහයා වෙත එළඹ ඇඳිලි බැඳගෙණ උවසුසමූහයාගෙන් (මෙසේ) විචාළෙමි.
689. මා විසින් විචාරණ ලද ඒ සිල්වත් උවසුවෝ මෙසේ පැවසූහ: “අපි උපට්ඨානසාලාවක් කරණු කැමැත්තෙමු. (ඒ සඳහා) එක් ටැඹක් නො ලැබේ ය” (කියායි.)
690. එක් ටැඹ මට දෙවු. මම ශාස්තෲන් වහන්සේට දෙන්නෙමි. මම ටැඹ ගෙණ එන්නෙමි; භවත්හු (ඒ සඳහා) උත්සාහ නැත්තෝ වෙත්වා” යි (කීමි)
691. පැහැදුනා වූ සතුටු සිත් ඇති ඔහු මට ටැඹ පැවරූහ. එ ම වනයෙන් පෙරළා ගොස් ස්වකීය ගෘහය ට පැමිණියාහු ය.
692. (උවසු) සමූහයා ගිය නොබෝ වේලාවකින් මම ටැඹක් දිනිමි. එකල්හි සතුට වූ මම සතුටු සිතින් (එය) පළමු කොට ම එසවීමි.
693. එ ම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ පැන නැගුනා වූ උස් වූ මහල් සියයක් ඇති මාගේ විමානයට මම (උත්පත්ති වශයෙන්) ගියෙමි.
694. එකල්හි බෙර වයද්දී මම (දෙව්පිරිස්) පිරිවරමි. (එයින්) පස්පණස්වන කපෙහි ‘යසෝධර’ නම් රජකේ වීමි.
695. එහි ද මට මහල් සියයක් ඇති උඩට නැගුනු උතුම් කුළු ගෙවලින් යුත් එක් ටැම් ඇති මනහර වූ භවනයෙක් වි ය.
696. එක්විසිවන කල්පයෙහි ‘උදේන’ නම් ක්‍ෂත්‍රියයෙක් වීමි. එහි ද මට සියයක් මහල් ඇති උස් ව පැන නැංගා වූ භවනයෙක් වී ය.
697. යම් යම් දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ යෝනියක උපදිම් ද, සියලු සුව අනුභව කරමි. මෙය එක් ටැඹ පිදීමේ විපාකය යි.
698. (මෙයින්) සිවු අනූවනකපෙහි එකල යම් ටැඹක් දිනිම් ද, (එහෙයින්) දුගතියක් නො දනිමි. එක් ටැඹ පිදීමේ මේ විපාකය යි.
699. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ඒකත්‍ථම්භික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේක් යී.
ඒකත්‍ථම්භික ස්ථවිරාවදානය දෙවැනි යි.
13. නන්‍ද ස්ථවිරාවදානය
700. ලෝකජ්‍යේෂ්ඨ වූ, තාදි (අටලෝදහමින් නො සැලෙන) ගුණ ඇති, සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ, මහර්ෂි වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට මා විසින් කොමු පිළියක් දෙන ලදී.
701. ඒ (වස්ත්‍රදායක වූ) මට පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක: “මේ වස්ත්‍රදානය කරණ කොට ගෙණ ස්වර්‍ණවර්‍ණ වන්නෙහි ය.