13. නන්‍ද ස්ථවිරාවදානය
700. ලෝකජ්‍යේෂ්ඨ වූ, තාදි (අටලෝදහමින් නො සැලෙන) ගුණ ඇති, සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ, මහර්ෂි වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට මා විසින් කොමු පිළියක් දෙන ලදී.
701. ඒ (වස්ත්‍රදායක වූ) මට පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක: “මේ වස්ත්‍රදානය කරණ කොට ගෙණ ස්වර්‍ණවර්‍ණ වන්නෙහි ය.
702. (දිව්‍ය මනුෂ්‍ය සඞ්ඛ්‍යාත) ද්විවිධ සම්පත් අනුභව කොට කුසල මූලයෙන් මෙහෙයන ලදුවහු ඔබ ගෞතම බුදුරජානන් වහන්සේගේ බාල සොහොයුරු වන්නහු ය.
703. ක්ලේශකාමයෙන් ඇලුනහු (කාය - චිත්ත) සුඛයන් අනුභව කරණ ස්වභාවය ඇත්තහු, වස්තුකාමයන්හි ගිජු වූවහු, බුදුරජානන් වහන්සේ විසින් මෙහෙයන ලදුවහු, ශාන්ත වූවහු එකල්හි පැවිදි වන්නහු ය.
704. තෝ එහි පැවිදි ව කුසලමූලයන් විසින් මෙහෙයන ලදුයෙහි සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවෙන් දැන හැර දමා ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නෙහි ය” (කියායි).
705. මෙ කපින් පෙර එක්දහස් එක්සිය වන කපෙහි ‘චෙල’ නම් වූ සක්විතිරජවරු සිවුදෙනෙක් වූහ. එක්දහස් සැට වන කල්පයෙහි (සිවු ජාතියක) ‘උපචෙල’ නම් වූ සක්විතිරජවරු සිවු දෙනෙක් වූහ.
706. එක්දහස් පස් වන කපෙහි ‘චෙල’ නම් වූ ම (සක්විතිරජවරු) සිවුදෙනෙක් වූහ. ඔහු සත්රුවනින් යුක්ත වූවාහු සතර මහ දිවයිනෙහි අධිපති වූහ.
707. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ‘නන්‍ද’ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
නන්‍දස්ථවිරාවදානය තෙවැනියි.
14. චුල්ලපන්‍ථක ස්ථවිරාවදානය
708. එකල්හි පූජාවන් පිළිගන්නා වූ හෙවත් පූජාවනට ගෙයක් බඳු වූ පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ ගණ(=සමූහ)යා කෙරෙන් වෙන් වූ සේක් හිමවතෙහි විසූ සේක.
709. එකල්හි මම ද හිමවතෙහි අසපුවක වෙසෙමි. පැමිණි නොබෝ කල් ඇති ලෝකනායක වූ මහාවීරයන් (=බුදුරජානන්) වහන්සේ වෙත එළඹියෙමි.
710. මල්සතක් (=මල්කුඩයක්) ගෙණ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. මම සමවතට සමවන් උන්වහන්සේගේ සමාධියට අන්තරායක් නො කෙළෙමි.
711. මම දෑතින් ගෙණ මල්සත දුනිමි. මහාමුනි වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ (එය) පිළිගත් සේක.
712. සතුටු වූ ඒ සියලු දෙවිවරු හිමවතට එළඹෙත්. “පසැස් ඇති බුදුරජ තෙම අනුමෝදනා කරන්නේ ය” යි සාධුකාර පැවැත්වූහ.