137. අත්ථසන්දස්සක ස්ථවිරාවදානය
1915. විශාල ලෙස පිපී පැතිරී ගිය මල් ඇති වෙනෙහි හුන්නෙම් ලෝකනායක වූ ක්ෂීණාස්රව වූ බලප්රාප්ත වූ භික්ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද බුදුරජානන් වහන්සේ දිටිමි.
1916. ත්රිවිද්යාවෙන් යුත් ෂඩභිඥ වූ මහත් ඍද්ධි ඇති සියක් දහසක් රහත්හු සර්වඥයන් වහන්සේ පිරිවරත්. එය දැක කවරෙක් නො පහදී ද?.
1917. යමකුගේ නුවණෙහි සසඳා දැක්විය හැකි උපමාවක් දෙවියන් සහිත ලෝකයෙහි නැද්ද, අනන්තඤාණ ඇති ඒ සර්වඥයන් වහන්සේ දැක කවරෙක් නො පහදී ද.
1918. හුදු රත්නාකරයක් මෙන් දක්වන දහම්කය ද විකෝපනය කරන්නට නො හැකි වෙත්. (එබඳු උන්වහන්සේ) දැක කවරෙක් නො පහදී ද?.
1919. නාරද සරගච්ඡිය (නම් වූ මම) පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජුන්හට මේ තුන් ගයින් ස්තුති කොට-
1920. මම ඒ චිත්තප්රසාදය හේතු කොට ගෙණ ද, බුදුරජානන් වහන්සේට ස්තුති කිරීම හේතු කොට ගෙණ ද, කල්පලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපන්මි.
1921. මෙයින් තුන් දහස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමිත්ත නම් සක්විති රජෙක් වීමි.
1922. පටිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙසේ ආයුෂ්මත් අත්ථසන්දස්සක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අත්ථසන්දස්සකස්ථවිරාවදානය සත්වැනි යි.
138. ඒකපසාදනිය ස්ථවිරාවදානය
1923. නාරද යනු මාගේ (කුලදත්තිය) නාමය යි. කෙසව යන (ගෝත්රනාමයෙනුදු) මා දැනගණිත්. කුසල් අකුසල් කුමැයි සොයමින් බුදුරජුන් සමීපයට පැමිණියෙමි.
1924. මෛත්රීචිත්තයෙන් යුත් කාරුණික වූ පසැස් ඇති මහාමුනි වූ ඒ අත්ථදස්සී සර්වඥ තෙම සත්ත්වයන් අස්වසමින් දහම් දෙසයි.
1925. සිය සිත පහදවා මුදුනෙහි ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේට අභිවාදනය කොට නැගෙනහිර දෙසට ගියෙමි.
1926. සතළොස්වන කප්සියෙහි මහත් බල ඇති මිහිපති වූ අමිත්තතාපන නම් සක්විති රජෙක් වීමි.
1927. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙසේ ආයුෂ්මත් ඒකපසාදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකාපසදනියස්ථවිරාවදානය අටවැනි යි.
139. සාලපුප්ඵදායක ස්ථවිරාවදානය
1928. එකල්හි විශිෂ්ට ජන්ම ඇති මනා කෙසරු ඇති සිහරජෙක් වීමි. ගිරිදුර්ගයක් සොයන්නෙම් බුදුරජානන් වහන්සේ දිටිමි. (දැක මෙසේ සිතීමි.)
1929. මේ මහාවීරයන් වහන්සේ මහාජනයා (කෙලෙස් ගින්නෙන්) නිවති. මම දේවාතිදේව වූ නරශ්රේෂ්ඨ වූ ඒ බුදුරජුන් වෙත එළඹෙන්නෙම් නම් මැනැවැ යි.
1930. සල් අත්තක් බිඳ මිණි නුමුතු (සල්) මලක් ගෙණ ආමි. සම්බුදුරජුන් වෙත එළඹ එම උතුම් පුෂ්පය පිදීමි.
1931. මෙයින් එක්අනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පදානයාගේ මේ විපාකය යි.
1932. මෙයින් නවවන කපෙහි මහත් බල ඇති විරොචන නම් වූ තුන් සක්විති රජකෙනෙක් වූහ.
1933. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් සාලපුප්ඵදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සාලපුප්ඵදායකස්ථවිරාවදානය නවවැනි යි.
140. පියාලඵලදායක ස්ථවිරාවදානය
1934. එකල්හි (මම) පරපණ නසන වැද්දෙක් වීමි. සිඛී බුදුරජානන් වහන්සේට නුදුරෙහි ගිරි ගුහාවක සයනය කරමි.
1935. ලෝකයෙහි අසහාය නායක වූ බුදුරජුන් සවස හා උදාසන ද දැකිමි. ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති උන්වහන්සේට දේයධර්මයකුදු මට නැත.
1936. පියල් ගෙඩියක් ගෙණ (මම) බුදුරජුන් වෙතට ගියෙමි. ඉක්බිති එය පිළිගැණීම සඳහා බුදුරජුන්හට පැවැරීමි.
1937. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ භාග්යවත් තෙමේ එය පිළිගත්තේය. මම ඒ චිත්තප්රසාදයෙන් යුතුව එහි ම කලුරිය කෙළෙමි.
1938. මම මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
1939. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පියාලී නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.
1940. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් පියාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පියාලඵලදායකස්ථවිරාවදානය දසවැනි යි.
තුදුස්වැනි සෝභිත වර්ගය යි.