138. ඒකපසාදනිය ස්ථවිරාවදානය
1923. නාරද යනු මාගේ (කුලදත්තිය) නාමය යි. කෙසව යන (ගෝත්රනාමයෙනුදු) මා දැනගණිත්. කුසල් අකුසල් කුමැයි සොයමින් බුදුරජුන් සමීපයට පැමිණියෙමි.
1924. මෛත්රීචිත්තයෙන් යුත් කාරුණික වූ පසැස් ඇති මහාමුනි වූ ඒ අත්ථදස්සී සර්වඥ තෙම සත්ත්වයන් අස්වසමින් දහම් දෙසයි.
1925. සිය සිත පහදවා මුදුනෙහි ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේට අභිවාදනය කොට නැගෙනහිර දෙසට ගියෙමි.
1926. සතළොස්වන කප්සියෙහි මහත් බල ඇති මිහිපති වූ අමිත්තතාපන නම් සක්විති රජෙක් වීමි.
1927. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙසේ ආයුෂ්මත් ඒකපසාදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකාපසදනියස්ථවිරාවදානය අටවැනි යි.
139. සාලපුප්ඵදායක ස්ථවිරාවදානය
1928. එකල්හි විශිෂ්ට ජන්ම ඇති මනා කෙසරු ඇති සිහරජෙක් වීමි. ගිරිදුර්ගයක් සොයන්නෙම් බුදුරජානන් වහන්සේ දිටිමි. (දැක මෙසේ සිතීමි.)
1929. මේ මහාවීරයන් වහන්සේ මහාජනයා (කෙලෙස් ගින්නෙන්) නිවති. මම දේවාතිදේව වූ නරශ්රේෂ්ඨ වූ ඒ බුදුරජුන් වෙත එළඹෙන්නෙම් නම් මැනැවැ යි.
1930. සල් අත්තක් බිඳ මිණි නුමුතු (සල්) මලක් ගෙණ ආමි. සම්බුදුරජුන් වෙත එළඹ එම උතුම් පුෂ්පය පිදීමි.
1931. මෙයින් එක්අනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පදානයාගේ මේ විපාකය යි.
1932. මෙයින් නවවන කපෙහි මහත් බල ඇති විරොචන නම් වූ තුන් සක්විති රජකෙනෙක් වූහ.
1933. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් සාලපුප්ඵදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සාලපුප්ඵදායකස්ථවිරාවදානය නවවැනි යි.
140. පියාලඵලදායක ස්ථවිරාවදානය
1934. එකල්හි (මම) පරපණ නසන වැද්දෙක් වීමි. සිඛී බුදුරජානන් වහන්සේට නුදුරෙහි ගිරි ගුහාවක සයනය කරමි.
1935. ලෝකයෙහි අසහාය නායක වූ බුදුරජුන් සවස හා උදාසන ද දැකිමි. ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති උන්වහන්සේට දේයධර්මයකුදු මට නැත.
1936. පියල් ගෙඩියක් ගෙණ (මම) බුදුරජුන් වෙතට ගියෙමි. ඉක්බිති එය පිළිගැණීම සඳහා බුදුරජුන්හට පැවැරීමි.
1937. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ භාග්යවත් තෙමේ එය පිළිගත්තේය. මම ඒ චිත්තප්රසාදයෙන් යුතුව එහි ම කලුරිය කෙළෙමි.
1938. මම මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
1939. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පියාලී නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.
1940. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් පියාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පියාලඵලදායකස්ථවිරාවදානය දසවැනි යි.
තුදුස්වැනි සෝභිත වර්ගය යි.