14. සෝභිත වර්‍ගය
131. සෝභිත ස්ථවිරාවදානය
1870. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මහත් වූ ජනසමූහයාට අමෘතපදය (නිවණ) දේශනා කරණ සේක.
1871. මම උන්වහන්සේ විසින් වදාරණ ලද උතුම් වචන අසා එකල්හි ඇඳිලි බැඳගෙණ එකඟ සිත් ඇත්තෙම් වීමි. බුදුනුවණ ද මෙසේ පැසසීමි:
1872. “යම් සේ මහසයුර ජලාශයනට අග්‍ර වේ ද, සිනේරු පර්‍වතය පර්‍වතයනට අග්‍ර වේ ද, එසේ ම යම් කෙනෙක් සචේතන වශයෙන් පවතිත් නම්, ඔහු බුදුනුවණින් කලාවකට ද නො පැමිණෙත්. (හැම නුවණට වඩා අග්‍රය” කියායි).
1873. එකල්හි කාරුණික ඍෂි වූ බුදුරජානන් වහන්සේ ධර්‍මන්‍යාය පිහිටුවා භික්‍ෂුසඞ්ඝයා මැද වැඩහිඳ මේ ගාථාවන් වදාළ සේක:
1874. “ලෝක නායක බුදුරජුන් විෂයෙහි වූ නුවණ යමෙක් ප්‍රශංසා මුඛයෙන් පැවසී ද, (ඒ හේතුවෙන්) හෙතෙම කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො යන්නේ ය.
1875. එකඟ ව සන්සුන් ව කෙලෙස් දවා නමින් සෝභිත නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය” (කියායි).
1876. මෙයින් පණස්දහස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති යසුග්ගත නම් සත් සක්විතිරජකෙනෙක් වූහ.
1877. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ වනසන ලදහ. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. මේ අයුරින් බුදුසසුන කරණලදී.
1878. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝභිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සෝභිතස්ථවිරාවදානය පළමුවැනියි.
132. සුදස්සන ස්ථවිරාවදානය
1879. විතස්තා නදී තීරයෙහි පුළිලගසක් පල ගත්තේ විය. මම එම ගස සොයන්නෙම් ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ දිටිමි.
1880. එකල්හි මම පිපුනු වැටකේගසක් දැක (එයින් මලක්) නටුවෙන් කඩා ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජානන් වහන්සේට පිදීමි. (කෙසේ ද යත්:)
1881. “මහාමුනීන් වහන්ස, බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේ අච්‍යුත නම් වූ අමෘතපදසංඛ්‍යාත නිවණට යම් නුවණක් කරණ කොට ගෙණ පැමිණිසේක් ද, එම නුවණට පුදමි” (කියායි).
1882. ඒ බුදුරජානන් වහන්සේගේ සර්‍වඥතාඥාන විෂයෙහි පුද කොට පුලිල ගස දිටිමි. (ඒ පූජාහේතුවෙන්) ඒ ප්‍රඥාව ලැබුයෙම් වෙමි. ඤාණ පූජාවෙහි මේ විපාකය යි.
1883. මෙයින් එක්තිස්වන කපෙහි යම් මලක් පිදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඤාණපූජාවෙහි මේ විපාකය යි.
1884. මෙයින් තෙළෙස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඵලුග්ගත නම් දොළොස් සක්විතිරජකෙනෙක් වූහ.
1885. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුදස්සන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සුදස්සනස්ථවිරාවදානය දෙවැනියි.
133. චන්‍දනපූජක ස්ථවිරාවදානය
1886. එකල්හි මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. මම මල් අනුභව කරන්නෙම් එසේ ම මල්මුවා හඳනා ඇත්තෙම් ද වීමි.
1887. නරශ්‍රේෂ්ඨ වූ ලෝකජ්‍යේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ ද අහසෙහි හංසරාජයකු මෙන් වනහිසින් නික්මුනු සේක. (ඒ දුටු මම මෙසේ කීමි:)
1888. “පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ ප්‍රසන්න වූ මුඛය හා නේත්‍ර ඇතිසේක. අතිශයින් පහන් වූ මුහුණ හා ඉන්‍ද්‍රියයන් ඇතිසේක.”