134. පුප්ඵඡදන ස්ථවිරාවදානය
1895. මන්ත්රයන්හි පරතෙරට ගිය වේද හදාරන්නා වූ යාග කිරීමෙහි යෙදුනු, නමින් සුනන්ද නම් බමුණු තෙමේ මහායාගයක් කෙළේ ය.
1896. අග්රකාරුණික වූ ඍෂි වූ පදුමුත්තර සර්වඥ තෙමේ ජනසමූහයාට අනුකම්පා කරන්නේ එකල්හි අහසෙහි සක්මන් කෙළේ ය.
1897. උපධි විරහිත ලෝකනායක වූ සර්වඥ බුදුරජ තෙමේ අහසෙහි සක්මන් කොට අප්රමාණ සත්ත්වයා කෙරෙහි මෛත්රිය පැතිරවීය.
1898. මන්ත්රයන්හි පරතෙරට ගිය බමුණුතෙම මල් නටුවෙන් නෙළා සියලු ශිෂ්යයන් රැස් කරවා අහසෙහි ලැවී ය.
1899. එකල්හි නගරය යම් තාක් වී නම්, ඒතාක් අහස මල්වියනක් මෙන් විය. බුද්ධානුභාවයෙන් එය සතියක් මුළුල්ලෙහි (ඉවත් ව) නො ගියේ ය.
1900. එ ම කුශල මූලය හේතු කොට ගෙණ සම්පත් අනුභව කොට සියලු ආස්රවයන් (ප්රහාණපරිඥාවශයෙන්) දැන් ලෝකයෙහි විසත්තිකා සංඛ්යාත තෘෂ්ණාව තරණය කරණ ලදී.
1901. එක්දහස්එක්වන කපෙහි මහත් බල ඇති අම්බරංස නම් වූ ඒ පන්තිස් සක්විති රජකෙනෙක් වූහ.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පුප්ඵඡදනියස්ථවිරාවදානය සිවුවැනි යි.
135. රහෝසඤ්ඤක ස්ථවිරාවදානය
1902. හිමවතට නුදුරෙහි වසභ නම් පර්වතයක් විය. එම පර්වත පාදයෙහි (මට) අසපුවක් මැවිනි.
1903. එකල්හි බමුණෙක් වූ මම තුන් දහසක් සිසුනට ඉගැන්වීමි. ඒ සිසුන් රැස් කරවා විවෙකස්ථානයක හුන්නෙමි.
1904. මන්ත්රයන්හි පරතෙරට ගිය බ්රාහ්මණ වූ මම එකත්පසෙක හිඳ බුද්ධධර්මය සොයන්නෙම් (මෙනෙහි කරන්නෙම්) බුද්ධඥානයෙහි සිත පැහැදවීමි.
1905. ඒ මම එහි සිත පහදවා ගෙණ පන්ඇතිරියක හුනිමි. එහි පලක් බැඳගෙණ ම කලුරිය කෙළෙම් ද වෙමි.
1906. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි බුද්ධඥානය පිළිබඳ සංඥාවක් ලැබූයෙම් ද, යම් (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඥානසංඥාවෙහි මේ විපාකය යි.
1907. සත්විසිවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සිරිධර නම් සක්විතිරජෙක් වීමි.
1908. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙසේ ආයුෂ්මත් රහෝසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
රහෝසඤ්ඤකස්ථවිරාවදානය පස්වැනි යි.
136. චම්පකපුප්ඵිය ස්ථවිරාවදානය
1909. සුපිපි කිණිහිරිරුකක් මෙන් බබලන කඳුඅතුරෙහි හුන්නා වූ ඕසධී තාරකාවක් මෙන් සියලු දිගුන් ආලොකවත් කරණ (බුදුරජුන් දිටිමි.)
1910. ස්වකීය බ්රාහ්මණධර්ම සඞ්ඛ්යාත ශිල්පයෙහි මැනැවින් හික්මුනු මාණවකයෝ තිදෙනෙක් වූහ. ඔහු පිරිකරබර ගෙණ මා පසුපසින් එත්.
1911. තවුසකු විසින් ගොටුවක තබන ලද මල් සතක් ගෙණ ඒ මල් වෙස්සභූ බුදුරජුන්ගේ සර්වඥතාඥානයට පිදීමි.
1912. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඤාණපූජාවෙහි මේ විපාකය යි.
1913. එකුන්තිස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විපුලාභ නම් සක්විති රජෙක් වීමි.
1914. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙසේ ආයුෂ්මත් චම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
චම්පකපුප්ඵියස්ථවිරාවදානය සවැනි යි.